කොල්කටා නුවර සිරවී සිටින සිසුන් රැගෙන එන්න ගුවන් යානයක් අදත් පිටව යයි

ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (30) දින උදෑසන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1187 දරන එම ගුවන් යානය අද උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගියේය.

එමෙන්ම සාර්ක් රටවල අතරමං වී සිටින සිසුන් යළි මෙරටට රැගෙන ඒමේ පළමු අදියර ඊයේ (29) දිනෙන් අවසන් වූ බව ප්‍රකාශ කළ ද, ඉන්දියාවේ කොල්කටා නුවර මෙම සිසුන් ද අද දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු, එම අදියර නිමාවට පත් වන බවත්, තවත් දින කීපයකින් තවත් රටවල අතරමං වී සිටින සිසුන් මෙරටට රැගෙන ඒමට මෙම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසා ඇත.

මෙම ගුවන් යානය මගීන් නොමැතිව ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගිය අතර, එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 කු ගමන් ගෙන තිබුණි.

මෙම ගුවන් ගමන සදහා ඒ.321- 251 එන් එයා බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් යොදවා තිබූ අතර, මෙම ගුවන් යානය අද දින පස්වරු 1.00 ට ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.

මෙම ගුවන් යානය යළිත් සවස 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව සඳහන්.

Exit mobile version