ව්‍යාජ ප්‍රාථමික ගැනුම්කාර සමාගමකින් රු. මිලියන 500ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් සමුපකාර සමිතියට වැඩ වරදී.

2015 වර්ෂයේ සිට අවස්ථා 5 කදී සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රුපියල් මිලියන 507.59ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වශයෙන් හඳුන්වා දී ඇති එක්තරා ආයතනයක් හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරනු ලැබ ඇත.
එහෙත්, එකී ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් නොවන බව පසුව හෙළි වී ඇති අතර මෙතෙක් අදාළ මුදල අයකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම සමුපකාර සමිතියේ තැන්පත්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇත.
මෙම සිදුවීමට වගකිව යුතු පාර්ශ්වයන් නිශ්චය කර හඳුනාගැනීමටත්, තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත් අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Exit mobile version