ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද නැද්ද ?

මරණ දඬුවම නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද නැද්ද යන්න පිළිබඳව මේ වන විට සමාජය තුළ කතාබහක් මතුව තිබේ.

 

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද 142,037 ක් ලබාගත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්වෙමිනි.

නමුත්, මරණ දඬුවමට නියම වී සිටින ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් පවතින්නේ දැයි පිළිබඳ කතිකාවතක් ඇති වී තිබෙන්නේ මෙවැනි සිද්ධියක් පිළිබඳ පූර්වාදර්ශයක් නොමැතිවීම හේතුවෙනි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දිය නොහැකි බවය.

ඉදිරියේදී ගැසට් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයට ඔහුගේ නම ඇතුළත් වන්නේදැයි සොයාබැලිය යුතු බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජයසේකර මහතා ඉදිරිපත් කරන ඇපෑලෙන් පසුව සිදුවන අධිකරණ තීන්දුව සලකා බලා මන්ත්‍රී අසුනේ දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙනවා ද නැද්ද යන්න තීරණය කරන බවය.

Exit mobile version