රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට ගිය වසරේ කෝටි 08කට වැඩි ලාභයක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව 2015 වසරේ සිට වසරින් වසර සිය ලාභාංශ වර්ධනය කර ගනිමින්, 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 80.7 ක් හෙවත් කෝටි 08කට වැඩි ලාභයක් ලබා තිබෙන බවයි.

එයට හේතු වූයේ ගෙවී ගිය වසර 03 තුළ සංස්ථාවේ නාස්තිය වළක්වා මනා කළමානාකාරීත්වයක් තුළින් කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම බව ද අමාත්‍යවරයා කියයි.

2015 වසරේ මගේ අමාත්‍යාංශය යටතේ ශ්‍රි ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තුළ යහපත් කළමනාකරණය පිළිබදව වෙනස්කම් රැසක්ම ඇති කළා. ඒ අනුව පත් කළ, සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු නව පාලනාධිකාරිය හා සේවක සෙවිකාවන් සංස්ථාවේ දියුණුව සඳහා නාස්තිය අවම කරමින් උපරිම කැපවීමෙන් යුතුව කාර්යක්ෂමව කටයුතු කිරීම නිසා, වසරින් වසර ලාභය වැඩි කර ගැනීමට හැකි වුණා. ඒ අනුව 2015 වසරේදී රුපියල් මිලියන 10.5 ක ලාභයක් වාර්තා කළ අතර, එය 2016 වසරේදී රුපියල් මිලියන 43.8 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වුණා.

2017 වසරේදී සංස්ථාව ලැබූ සමස්ත වෙළෙඳ ආදායම රුපියල් මිලියන 3,385.2 ක් වෙනවා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 23 ක වර්ධනයක් වෙනවා. 2018 දී අපගේ ඉළක්කය වන්නේ සංස්ථාවේ පිරිවැටුම හා ලාභාංශය දෙගුණයක් කිරීමයි. අප ඒ සඳහා දැනටමත් අපගේ වෙළෙඳජාලය රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කරලා තියෙන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Exit mobile version