තිලක් බඩා පොලිසියට කොටු වෙයි

මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට සම්බන්ධ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකුගේ
ගෝලයෙකු බව පැවසෙන 22 හැවිරිදි අශාන් මදුසංක නොහොත් “තිලක් බඩා” නමැත්තා අද (03)
අලුයම මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබූ කාන්තා අත්බෑගයක රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා
මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර සැකකරුගේ පාවහන් යුගලේ සූක්ෂම
අයුරින් සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 20ක් ද සොයා ගැණුනි.

එසේම සැකකරු සන්තකයේ තිබූ නේවි රුවන්ට අයත් බව කියන ගිනි අවියක මැගසිනයක් සමග
උණ්ඩ 6ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එහි ගිනි අවිය සෙවීම සඳහා හෝමාගම නියදගල පිහිටි දෙමහල් නිවසක් පරීක්ෂා කිරීමට පොලීසිය
සැකකරු සමග එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරා අශාන් මදුසංක නමැත්තා පළායාම
සඳහා දෙවැනි මහලෙන් බිමට පැන තිබේ.

එහිදී බරපතල තුවාල ලැබූ සැකකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව
යටතේ ප්‍රථිකාර ලබන අතර සැකකරුගේ අනියම් බිරිඳ බව පැවසෙන 26 හැවිරිදි කාන්තාවක්ද අද
උදෑසන මීගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, මහා පරිමාණයෙන් අයිස් සහ හොරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු ඊයේ (09) රාත්‍රියේ
නැදිමාල ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන
අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ත්‍රීරෝද රථයේ හැඩලය මත සූක්ෂම ලෙස සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ
හෙරොයින් ග්‍රෑම් 10 ක් පොලිස් භාරයට ගෙන ඇත.

42හැවිරිදි මෙම සැකකරු ත්‍රීරෝද රථය භාවිත කරමින් රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, මොරටුව,
බොරලැස්ගමුව, පිලියන්දල සහ කොහුවල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බව පොලීසිය
පවසයි.

Exit mobile version