මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා උගත්, බුද්ධිමත්, සැබෑ මානවවාදියෙක් ලෙස කටයුතු කළා – ජනපති

Share

මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා උගතෙක්, බුද්ධිමතෙක් ලෙස වගකීම් පැවරූ සෑම අවස්ථාවකදී ම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සැබෑ මානවවාදියෙක් ලෙස කටයුතු කරනු ලැබූ බවත් උගතෙක්, බුද්ධිමතෙක් හා සැබෑ මානවවාදියෙක් ලෙස එතුමා සමාජය විසින් පිළිගත් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයේ අඳහස් දක්වමින් ජනාධිපතිතුමා මෙසේ සඳහන් කළේ ය.

මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. එතුමා මේ රටේ වාමාංශික, ප්‍රගතිශීලී දේශපාලනයේ, බණ්ඩාරනයක මැතිතුමාගේ දේශපාලන දර්ශනය පිළිබඳව සිංහල, ඉංග්‍රිසි පොතපත රාශියක් ලියූ කෙනෙක්. බණ්ඩාරනායක දර්ශනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව කෙනෙකුට යම් අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය තොරතුරු සෙව්වොත් මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාගේ පොත් තමයි සොයාගැනීමට තිබෙන්නේ.

ප්‍රධන වශයෙන් ම දේශපාලනයට පිවිසි මුල් අවස්ථාවේ සිටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ කාලවල දී වෙනත් රාජ්‍ය සේවයේ තනතුරු රාශියක් දැරු සෑම අවස්ථාවක ම වගකීම ඉතාම ඉහළින් ඉටු කළා. අවංකභාවය පිළිබඳව, පිරිසිදු බව පිළිබඳව, කරන කර්යයේ ගුණාත්මකභාවය පිළිබඳව තමන් කරන කාර්යයේ ප්‍රමිතිය පිළිබඳව ඉතාමත් ඉහළ අගයක් සමාජය තුළ ලැබූ පුද්ගලයෙක්.

දේශපාලඥයකු ලෙස ඔහුගේ අවංකකම, ආදර්ශය, ඔහුගේ චරිතය, ඔහුගේ බුද්ධිය, ඔහුගේ උගත්කම, ඔහුගේ පරිනතභාවය, ඔහුගේ පාණ්ඩිත්වය, එතුමා ජීවත්ව සිටින කාලය වගේම අදත් සෑම කෙනෙකුම අගය කරනු
ලබනවා. විශ්වා වර්ණපාල මැතිතුමා, ඔහුට පැවරූ කාර්යයන් ඉටු කිරීමේ දී සිය දැනුම හා බුද්ධිය මුල්කරගනිමින් ඉතාමත් දක්ෂ ලෙස වාද විවාද කළා. ඔහු දේශපාලනය කරන විට දේශපලඥයකු වූ අතර උගතෙක්, බුද්ධිමතෙක් ලෙස යම් යම් වගකීම් පැවරූ සෑම අවස්ථාවකදීම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සැබෑ මානවවාදියෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු තුළ තිබූ සැබෑ මානවවාදී ගුණාංගය, සෑම කෙනෙක් ම ඉහළින් අගය කරනු ලැබුවා. එතුමාට සමාජ පිළිගැනීමක් තිබුණා. ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් පෙනී සිටි සෑම තැනම ඔහුට තිබුණු පිළිගැනීමත්, දක්ෂතාවයත් දැනුමත් ඔහු කළමනාකරණය කරගෙන සියලු ස්ථානවල එම නායකත්වය ලැබුණා. එතුමා නායකත්වය සොයා ගිය කෙනෙක් නොවෙයි. ඔහුගේ කැපවීම, දක්ෂතාවය,අවංකභාවය, තුළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සමාජය පිළිගත්තේ, උගතෙක්, බුද්ධිමතෙක් හා සැබෑ මානවවාදියෙක් විදියටයි. ඒ නිසා එතුමා මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට හා දේශපාලන ක්ෂේත්‍රයේ සෑම කෙනෙකුටම මේ රටේ සාමාන්‍ය ජනතාවට ඔහුගේ චරිතය ආදර්ශවත් වුණා.

අද දේශපාලඥයා සමඟ එන දූෂණය කියන වචනය සැබෑ ලෙස ප්‍රතික්ෂේප කළ කෙනෙක්. උගතෙක් බුද්ධිමතෙක් විදියට, අවංක පුද්ගලයෙක් විදියට මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාට ලබුනේ සෑම විටම ඉහළ පිළිගැනීමක්. සැබෑ ලෙස ඔහුගේ උගත්කමට සහ දැනුමට ඔහුගේ දක්ෂතාවයන්ට නිසි තැනක් සමාජය තුළ එදා රජයන් තුළ ලැබුණා ද කියන ප්‍රශ්නය සැබෑ ලෙසම මගේ මතකයේ තිබෙනවා. සැබෑ මානව වදියෙක් ලෙස සැබෑ මිනිසෙක් ලෙස සමාජයට කළ යුතු කාර්යයන් විදහා දැක්වීමේ දී එතුමා මහා ප්‍රදීපස්ථාම්භයක් ලෙස කටයුතු කළා.

ඔහු අවවාදයට වඩා ආදර්ශය පෙන්නුම්කළ කෙනෙක්. එතුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. මෙවැනි පුද්ගලයකු මේ ගරු සභාව නියෝජනය කළා වගේ ම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වගේ ම බාහිරව ජාතික වශයෙන් අන්තර්ජාතික වශයෙන් අපේ මුළු මහත් සමාජයට, ප්‍රජාවට ඔහු විසින් කරනු ලැබූ සේවය අගය කළ යුතු වෙනවා. එතුමාගේ බුද්ධිමත්භාවය අපේ සමාජයට ආදර්ශයක්. මිනිසුන් මියගිය ද මිනිසුන් සමාජයට සිය මිනිසුන් වෙනුවෙන් කරන ලද සේවාව වගේම පෙන්වූ ආදර්ශයන් මිනිස් සමාජය තුළ කිසිවිටෙකත් අමතක නොවන බව අප දන්නවා. මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන මේ අවස්ථාවේ දී මා පෞද්ගලිකවත් ජනාධිපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙසත් එතුමාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරනවා.

Read more

Local News