සෑම අතින්ම ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ඇදෙන ලකුණු – මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා

Share

උද්ධමනය පහළ අගයක් ගැනීම, රජයේ ආදායම් ඉහළ යෑම. විදේශ සංචිතය වැඩිවීම, සංචාරක පැමිණීම් හා ආදායම් වැඩිවීම ඇතුළු සෑම අතින්ම ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට ඇදෙන ලක්ෂණ පෙන්නුම් කර ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2017 පස්වැනි මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ඊයේ (03) දහවල් කොළඹ කොටුව ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා මේ වසරේ මාර්තු මාසයේ සියයට 7.3ක් වූ මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ සිට ක්‍රමිකව අඩුවීමට පටන්ගෙන තිබෙනවා. එය පිළිවෙළින් මැයි මාසයේ සියයට 6.0, ජුනි මාසයේදී සියයට 6.1ක් හා ජූලි මාසයේදී සියයට 4.8ක් ලෙස පහළට පැමිණ තිබෙනවා.

මේ වසරේ මැයි මාසයේදී අපනයන ආදායම් සියයට 7.8කින් වැඩි වී ඇත. මේ වසරේ ජනවාරි – ජුනි මාස හය ඇතුළත අපනයන ආදායම් සියයට 4.3කින් වැඩි වී තිබෙනවා. එම කාලය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 4.4ක් වී තිබෙනවා.

ඒවාගේමයි ආනයන වියදම් ද මැයි මාසයේදී සියයට 8.6කින් වැඩි වී තිබෙනවා. මුළු මාස හයේ එය සියයට 12.6කින් වැඩිවී තිබෙනවා.

මුල් මාස හයේ ආනයන වියදම ඩොලර් බිලියන 8.6ක්. මේ වසරේ මැයි මාසයේ වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 86 ක්. මුල් මාස හයේ හිඟය ඩොලර් බිලියන 4. 2ක්.

සංචාරකයින්ගේ පැමිණීම් ජුනි මාසයේදී සියයට 4.5කින් වැඩි වුණා. ලැබුණු ආදායම ඩොලර් මිලියන 212ක්. මුල් මාස හයේ මේ වර්ධනය සියයට 4.8ක්. ලැබුණු මුළු ආදායම ඩොලර් බිලියන 1.7ක්. පැමිණි සංචාරකයෝ ගණන මිලියනය ඉක්මවූවා.

මැද පෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ඉපැයීම්වල අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ ආදායම් සියයට 7.2කින් ජුනි මාසයේ අඩුවුණා. අපට ඩොලර් බිලියන 3.3ක ආදායමක් ලැබුණා.

විදේශ මුදල් ලැබීම් ඉහළයමින් තිබෙනවා. රජයට ලැබෙන විදේශ මුදල් වැඩි වී තිබෙනවා. රාජ්‍ය සුරැකුම්වලට ලැබුණු විදේශ මුදල් මිලියන 388ක් කොළඹ කොටස් වෙළෙඳ‍ ‍ෙපාළ හරහා සිදුවූ විදේශ ආයෝජන ඩොලර් මිලියන 246ක්. මේ නිසාම රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ මූල්‍ය වෙළෙඳ පොළින් ඩොලර් මිලියන 800ක් මෑතකදී මිලදී ගත්තා. අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.7ක්. එය වසර 2016දී තිබුණේ ඩොලර් බිලියන 6ක් ලෙසයි.

රුපියල ශක්තිමත්වීමට පටන්ගෙන තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව සියයට 2.5කින් රුපියල අවප්‍රමාණය වුණා.

පෞද්ගලික අංශයට ණය ලබාදීම් අඩුවී තිබෙනවා. එය සියයට 20 මට්ටමේ සිට සියයට 18ට අඩුවී තිබෙනවා. ලබාදුන් ණය මුදල රුපියල් බිලියන 80ක්. පෞද්ගලික අංශයට ලබාදෙන ණය සීමාවීමෙන් උද්ධමනය අඩුවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.25 මට්ටමේත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.75 මට්ටමේත්, ව්‍යවස්ථාපති සංචිත අනුපාතිකය සියයට 7.5 මට්ටමේත් පවත්වාගෙන යෑමට තීරණය කළා.

හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනු පිළිබඳව තොරතුරු පිටවීමේ සිදුවීම ගැන මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භකොට තිබේ. ඒ පිළිබඳව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් තොරතුරු විමසා මේ වනවිට හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපි දෙකක් යවා තිබේ.

Read more

Local News