නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිනේෂ් චන්දිමාල්ට

Share

බංග්ලාදේශ සංචාරය අතරතුර පාදයේ ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට ලබන සතියේ ආරම්භ වන නිදහස් කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබේ. ඒ ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙනි.

ඒ අනුව නිදහස් කුසලාන තරගාවලියට ඊයේ නම් කළ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත සංචිතයට මැතිව්ස් ඇතුළත් නොවූ අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළි ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට පවරා තිබේ.

මැතිව්ස්ට අමතරව විවිධ ආබාධවලට ලක්වී සිටි කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමිර සහ නුවන් ප්‍රදීප් සිය ආබාධ සුව අතට හැරීම නිසා සංචිතයට එක්වීමේ අවස්ථාව ලබා සිටිති. එසේවුවත් ආබාධවලට ලක්වූ සෙසු ක්‍රීඩකයන් වන වේගපන්දු යවන ශෙහාන් මධුසංඛගේ සහ තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ සේවය තවදුරටත් කණ්ඩායමට අහිමිවී තිබේ.

නිදහස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 15 දෙනා අද (28) නම් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය -දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩේසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා

Read more

Local News