පාකිස්ථාන, ශ‍්‍රී ලංකා ජනපතිවරු හමුවෙති – සහෝදර රාජ්‍යයන් ලෙස එක්ව ඉදිරියට යාමට දෙරටේ නායකයෝ සහතික වෙති

Share

දීර්ඝ කාලයක් පුරා පාකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමේදී සහෝදර රාජ්‍යයන් ලෙස එක්ව ඉදිරියට යාමට දෙරටේ නායකයෝ සහතික වෙති.

පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා අතර නිිල හමුව ඊයේ (24) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී නායකයින් මේ සඳහා එකඟත්වයට පැමිණියහ.

ඉස්ලාම්බාද් නුවර ජනාධිපති නිල නිවස වෙත පැමිණි ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පාකිස්ථාන ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, නායකයින් අතර සුහද කතාබහෙන් අනතුරුව ද්වී පාර්ශ්වික සාකච්ජා ආරම්භ කෙරිණි.

තම නිල ඇරයුම පිළිගෙන පාකිස්ථානය වෙත පැමිණීම පිළිබඳව ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ පාකිස්ථාන ජනාධිපතිවරයා එය තම රටට මහත් ගෞරවයක් බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවට ලබාදෙන ශිෂ්‍යත්ව සහ පුහුණු අවස්ථා වැඩිකරන ලෙසට ජනාධිපතිතුමා කළ ඉල්ලීම පිළිගත් පාකිස්ථාන ජනාධිපතිවරයා ඉදිරියේදී එම අවස්ථා ඉහළ දැමීමට පියවර ගන්නා බවට සහතික විය.

ලෝක ත‍්‍රස්ත‍වාදයට එරෙහිව පෙළ ගැසීමේ අවශ්‍යතාවය රාජ්‍ය නායකයින් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජාවට ලක් කළ අතර පසුගිය යුද සමයේදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පාකිස්ථානයෙන් පිරිනැමුණු සහය ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් හි දී පාකිස්ථානය ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් දක්වන සහයෝගය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක්විය.

ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දැක්වීමට පාකිස්ථානය සූදානම් බැවින් පාකිස්ථානය සහෝදර රටක් ලෙස පිළිගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළ පාකිස්ථාන ජනාධිපතිවරයා, මීළඟ සාර්ක් උළෙල පාකිස්ථානයේ පැවැත්වීමට ශ‍්‍රී ලංකාවේ සහය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

දෙරට අතර පවතින විදේශ, ආරක්ෂක, වෙළෙඳ සහ ආයෝජන සබඳතා තව දුරටත් තහවුරු වීමට ජනාධිපතිතුමාගේ මෙම සංචාරය මනා පිටිවහලක් සැපයූ බව ද පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මැතිතුමා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයේදී මුහුණදීමට සිදුවූ කනගාටුදායක සිදුවීමෙන් පසුව නැවත 2017 වසරේදී තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට එවීමට ශ‍්‍රී ලංකා රජය ගත් තීරණයට ප‍්‍රශංසා කිරීමට ද පාකිස්ථාන ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

පාකිස්ථාන – ශ‍්‍රී ලංකා වෙළෙඳ සහ ආයෝජන මිත‍්‍රත්ව සංගමය මගින් දෙරට අතර ක‍්‍රියාත්මක අක්ෂි කුණීත වැඩසටහනට අදාළ පරිත්‍යාගයක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් පාකිස්ථාන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

Read more

Local News