“මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා” – ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක

Share

හමුදා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දඩයමක් ක්‍රියාත්මක වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතු බව අවධාරණය කරයි.

යුද හමුදාපතිවරයා ඒ බව කියා සිටියේ අද (අගෝස්තු 04) මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“විශේෂයෙන් රණවිරුවෙක් දැන ගත යුතුයි රණවිරුවා කවුද මිනීමරුවා කවුද කියලා. රණවිරුවෙක් මිනීමරුවෙක් වී තිබෙනවා නම් ඔහු ඒ දඬුවමට යටත් විය යුතුයි” යනුවෙන් හමුදාපතිවරයා සඳහන් කළේය.

හමුදා සාමාජිකයන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ යුද හමුදා නීතියට යටත් බව පෙන්වා දෙන හමුදාපතිවරයා එබැවින් ත්‍රිවිධ හමුදාවම විනයට ගරු කරන බව පැවසීය.

“යුද කාලෙදී හෝ පසුව නිල ඇඳුම භාවිත කරලා යම් අයෙකු වැරදි ක්‍රියාවක නිරත වී තිබෙනවා නම් ඔහු රණවිරුවෙක් නෙවෙයි. අන්න ඒ කියන්නා වූ රණවිරුවෝ තමයි ඒ දඩයම් කරනවා කියන්නේ. නැතුව සටන හරියට කරපු කිසිම කෙනෙකුට එහෙම දඬුවම් ලැබිලත් නැහැ”

මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවේ හමුදාපතිවරයා කියා සිටියේ විනයගරුක නොවන සොල්දාදුවන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු හමුදාවේ සිටින බවය.

“ඒ අයට කිසි සමාවක් නැහැ. මම අත්අඩංගුවට ගන්න ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට ගන්නවා”

උතුරේ ආරක්ෂාව

මල්වතු මහා නාහිමියන් උතුරේ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් ද හමුදාපතිවරයාගෙන් විමසා සිටියහ.

උතුරු පළාතේ යම් යම් කණ්ඩායම් ක්‍රියාත්මක වුවත් ඔවුන් එල්ටීටීඊ සංවිධානය තරම් ශක්තිමත් කණ්ඩායම් නොවන බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ “කුහක සහ පටු දේශපාලන අදහස්” මුදුන් පත් කර ගැනීමේ අරමුණින් එවැනි කණ්ඩායම් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවය. “දකුණේත් සමහරවිට එය වැරදියට සිද්ධ වෙනවා. නමුත් උතුරේ ජීවත් වුනොත් තේරෙනවා එහෙම තත්ත්වයක් නැහැ කියලා” උතුරෙන් වාර්තා වූ ඇතැම් ක්‍රියා සහ 1978 පෙර පැවති තත්ත්වය හා සැසඳීමට ඇතැමුන් උත්සහ කරන බව කී හමුදාපතිවරයා “මහා හමුදාපති වශයෙන් කියන්නේ ඒක බොරුවක්. මොකද 78 හමුදාව එහෙම හිටියේ නැහැ. 78 හිටියේ පොලිසිය. පොලිසියට ඒ කරදර සිදු වුනා. හමුදාව එන්නේ 83 න් පස්සේ” යනුවෙන් පැවසීය.

උතුරේ ඉඩම්

මල්වතු නාහිමියන්
මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත හමුදාපතිවරයා

මේ වනවිට යාපනය අර්ධද්වීපයේ පමණක් හමුදා සේනාංක 3 යොදවා තිබෙන සඳහන් කළ හමුදාපතිවරයා අවශ්‍ය වූ විටක ක්‍රියාමාර්ග ගැනීම සඳහා මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවල හමුදාව ස්ථානගත කර ඇති බව කියා සිටියේය.

පලාලි ගුවන් තොටුපල ආශ්‍රිත ඉඩම් හැර හමුදාව යටතේ පවතින අනවශ්‍ය ඉඩම් යළි උතුරේ ජනතාවට ලබා දිය යුතු බවත් එසේ ලබා දීමෙන් ආරක්ෂාවට තර්ජනයක් මතු නොවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම උතුරේ පාරම්පරික ධීවර ජනතාවට යළි එම රැකියාවේ නිරත වීම සඳහා අවශ්‍ය වාතාවරණය යළි සැකසිය යුතු බවත් හමුදාපතිවරයා පෙන්වා දුණි.

“70, 80 ගණන්වල මුල කොළඹ මාළු මාකට් එකට ගියොත් සියයට හැටක් විතර මාළු ආවේ උතුරෙන්. අද උතුරු ප්‍රදේශයේ බහුදින යාත්‍රා එකක්වත් නැහැ. ඉන්දියාවෙන් ඇවිල්ලා අපේ මුහුදු තීරයේ මාළු අරගෙන යනවා.”

“එහෙ ධීවර ජනතාව ශක්තිමත් කළ යුතුයි. දැන් පරම්පරා තුනක් ගිහින්, තුන් වෙනි පරම්පරාව මුහුදු ගිහින් නැහැ. ඒ අයට මුදල් ලැබෙනවා නම් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ”

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සමග අදහස් හුවමාරු කර ගනිමින්
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සමග අදහස් හුවමාරු කර ගනිමින්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී උතුරේ දරුවන් 193 දෙනෙකු A සමර්ථ 9 ලබා ගෙන ඇති බවත් උපහාර උත්සවයක් පවත්වා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් හමුදාව විසින් සපයනු ලැබූ බවත් ඔහු සඳහන් කළේය.

“අපි මේ උත්සාහ කරන්නේ මේ ක්‍රියාදාමයට ඒ දරුවන් එක කර ගන්න, අධ්‍යාපනයේ වටිනාකම තේරෙනකොට මීළඟ පරම්පරාව යළි යැවෙන එකක් නැහැ.” යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News