”බුද්ධ රශ්මි” ජාතික වෙසක් කලාපයේ උත්කර්ශවත් සිව්වැනි දිනය අදයි.

Share

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ”බුද්ධ රශ්මි ” ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයේ අති උත්කර්ශවත් සිව්වැනි දිනය අදයි.

අප්‍රේල් 29 වන දින අරලියගහ මන්දිරයේ දි සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අාරම්භ වු අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වඥධාතූන්වහන්සේ ප්‍රදර්ශනය විවෘත කළේ ය.

අප්‍රේල් 29 වන දින ප්‍රදර්ශනය විවෘත කිරිමෙන් අනතුරුව පසු දින අලුයම 4.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව තිබු අතර  අනෙකුත් දිනවල එනම් අප්‍රේල් 30, මැයි 01 හා 02  යන දින වල පෙ.ව 9.30 සිට පසු දින අලුයම 4.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැම්පත් කොට ඇති බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ,ඉන්දියාවේ සාරානාත් හි පිහිටි මුලගන්ධ කුටි විහාරයේ තැම්පත් කොට ඇති බුදුන් වහන්සේගේ අස්ථි ධාතූන්වහන්සේ  හා මදුරාසියේ නාගාර්ජුනකොණ්ඩහි පිහිටි ස්තූපයකින් ගන්නා ලද ධාතුන් වහන්සේලා සහ ශ්‍රි ලංකාවෙන් සොයා ගන්නා ලද නීලගිරි ධාතූන් වහන්සේ මෙහිදි වැඳ පුදා ගැනිමට ජනතාවට ඉඩ සළසා දී තිබේ.

මීට අමතරව භූතානයේ සිට ගෙන්වනු ලබන 16 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා සීගිරියේ කැණීම්වලින් මෑතක දි සොයා ගනු ලැබු පුරා වස්තු ඇතුළු වටිනා කෞතුක භාණ්ඩ රැසක් ද ,නේපාලයේ ලුම්බිණි හා තිලෝරකොට් කැණීම්වල දි සොයා ගනු ලැබු කෞතුක වස්තූන් 09 ක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.

පාකිස්ථානයේ සිට වැඩ ම කරවනු ලබන ධාතුන් වහන්සේ මැයි මස 03 වැනි දින සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ දි ද මැයි මස 16 වන දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දි ද එයට අමතරව මැයි මස 04 වන දින සිට මැයි මස 15 වන දින දක්වා කළුතර, ගාල්ල, මාතර,කුරුණෑගල,අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවල විහාරස්ථාන 06 දී ද ප්‍රදර්ශනය කිරිමට නියමිත බව ගංගාරාම විහාරධිකාරි පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළ හ.

Read more

Local News