ජනපතිගේ පොසොන් පෝදා පණිවුඩය

Share

පසුකලෙක ජාතියක් ලෙස අප මුහුණ දී ඇති දැවැන්ත අභියෝග හමුවේ වුව පසුනොබා නැගී සිටීමට බලවත්ම ශක්තියක් උත්පාදනය කර ඇත්තේද එදා ජන ආත්මය තුළ නිධන්ගත වූ බෞද්ධ විඥානයෙහි පිහිටෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොසොන් පණිවුඩය නිකුත් කරමින් කියා සිටී.

මානව ශිෂ්ටාචාරයේ බොහෝ හැරවුම් ලක්ෂ අවි බලයෙන් සනිටුහන් කර ඇති පසුබිමක කරුණාව හා මෛත්‍රිය පදනම් කරගනිමින් ගොඩනැගුණු සභ්‍යත්වයක යශෝරාවය නගමින් උදාවන පොසොන් පුන් පොහොය අපට සිහිපත් කරන්නේ ශ්‍රේෂ්ඨ වූ ජාතියක පුණ්‍යවන්ත පිවිසුමයි.

බුද්ධ වර්ෂ 236 වැන්නේ අද වන් පුන් පොහෝ දිනක දී මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩමවීම හේතුවෙන් අප ලැබූයේ නව දහමක උරුමය පමණක්ම නොවේ. ඒ උතුම් සංසිද්ධිය පදනම් කරගනිමින් බෞද්ධ සංස්කෘතියෙන් සදාචාරාත්මක චර්යා ධර්මයන්ගෙන් සුපෝෂණය ලද ජාතියක් ඒ හරහා නිර්මාණය විය. ඒ තුළ අධ්‍යාපනය, සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මය පමණක් නොව සාරවත් සහ පිරිපුන් ජීවන සම්ප්‍රදායක් ද අපට උරුම විය.

මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව, සතා සීපාවාට ද ගහකොළ, ඇළ, දොළ, ගංඟා ඇතුළු සමස්ත පරිසරයට රැකවරණය ලබාදෙන සහජීවන ප්‍රතිපදාවක පිහිටමින් මුළුමහත් විශ්වය හා බැඳුණු ජීවන සම්ප්‍රදායක් වෙත අප යොමු කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපට හඳුන්වා දුන් බුදුදහමේ ආලෝකයෙනි. පසුකලෙක ජාතියක් ලෙස අප මුහුණ දී ඇති දැවැන්ත අභියෝග හමුවේ වුව පසුනොබා නැගී සිටීමට බලවත්ම ශක්තියක් උත්පාදනය කර ඇත්තේද එදා ජන ආත්මය තුළ නිධන්ගත වූ බෞද්ධ විඥානයෙහි පිහිටෙනි.

ඒ අනුව අද වැනි උතුම් පොසොන් පොහෝ දිනයක, වන පියසක අඹ තුරක් සෙ‍වණෙහි උතුම් බුදු බණ අසන ලද ජාතියක් ලෙස අප විසින් අධිෂ්ඨාන කරගත යුත්තේ සිතින්, කයින් හා වදනින් සංවරව මානව ප්‍රජාව ප්‍රමුඛ කරගත් සමස්ත පරිසරයටම යහපතක් උදාකරලීම උදෙසා කැපවීමට ය.

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා…!!

Read more

Local News