වෙරළ සංරක්‍ෂණ වැඩසටහනේ අධියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කෙරේ

Share

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව මයිලඩි වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ තවත් එක් අදියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගිය දා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබු වෙරළ සංරක්‍ෂණ වැඩසටහනට අනුව වෙරළ තීරය ආවරණය වන පරිදි මේ වනවිට පැළ 2000 ක් පමණ රෝපණය කර ඇත.

මීට අමතරව, යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් සිය ගණනකට ආර්ථික වටිනාකමින් යුත් පැළ තොගයක් ද බෙදාදෙනු ලැබීය. තවද, යුද හමුදාපතිතුමන්ගේ සංකල්පයකට අනුව පසුගිය වසර තුළ යුද හමුදාවට එක්වු ආධුණික සෙබළුන් මෙන්ම සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ට පැළ 20,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙන ලදී.

ඒ අනුව, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් මයිලඩි ප්‍රදේශයේ දී 515 වන බලසේනාවේ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් මෙම පැළ රෝපණ වැඩසටහන දියත් කරන ලදී. එමෙන්ම වෙරළ සංරක්‍ෂණ වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read more

Local News