වයඹ ජල ගැටලුව විසඳීමට ජනපතිගෙන් ස්ථීරසාර වැඩපිළිවෙළක්

Share

වයඹ පළාතේ ජනතාවගේ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලක් වූ වයඹට ජලය ඉල්ලා හැඩු කදුළු කථාව නිමාකරමින් එම ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මේ වන විට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කෙරේ.

රට තුළ විවිධ වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක වුව ද වයඹ පළාත හා ඒ අවට ප‍්‍රදේශ රැසකට අවශ්‍ය ජලය ලබාදීම පැවති සෑම රජයකින්ම අතපසුවීම නිසා එම ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවිය.

ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වූ ජලය නොලැබීම පමණක් නොව පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකට ඇද වැටුණු අතර, වකුගඩු රෝගයට ගොදුරුවන සංඛ්‍යාව ද දිනෙන් දින වර්ධනය විය.

මාතලේ දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඩා වැව් පද්ධතින් වෙත ජලය සපයා වෑමැඩිල්ල හා දේවහුව යන මහා වාරි ව්‍යාපෘතිවල සුරක්ෂිත ජල සැපයුම ලබාදීම හා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප‍්‍රදේශයේ පානීය ජල හිගයට ස්ථීරසාර විසඳුමක් ලබාදීම ද මෙමගින් අපේක්ෂිතය.

වාර්ෂිකව අක්කර අඩි 105,000කට වාරි ජලය අඛණ්ඩව ලැබීම, කුඩා වැව් 353 ක් සහ ප‍්‍රධාන වැව් 08 ක් මහවැලි ජලයෙන් පෝෂණය වීම, වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය වීම මෙහි ප‍්‍රතිලාභ වන අතර ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 13,500 කි.

මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන යටතේ රුපියල් දස ලක්ෂ 16,000 ක වියදමින් කි‍්‍රයාත්මක ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් 50‍්‍% ක් පමණ මේ වන විට සාර්ථකව නිම කර තිබෙන අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය ගෙනයමින් එහි දෙවන අදියර ආරම්භ කිරීම මෙම 24 වනදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

දැනට වෑමැඩිල්ල ජලාශය වෙත ලබාදෙන නාලන්දා ජලාශයේ අමතර ජලය කාර්යක්ෂම ලෙස වෑමැඩිල්ල ව්‍යාපාරය හා දේවහුව ජලාශය වෙත ගෙනයාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නාලන්දා ජලාශයේ සහ මහවැලි ජලය කුරුණෑගල දිස්ති‍්‍රක්කය වෙත ගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය පළමු අදියර යටතේ සිදුවෙයි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කය වෙත හරවන ජලය පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව හා මහව ප‍්‍රදේශයන්හි කුඩා වැව් පද්ධතිය වෙත බෙදාහැරීමට අවශ්‍ය ඇළ මාර්ග ඉදිකිරීම සහ දැනට බෝවතැන්න ජලාශයේ සිට දඹුලු ඔය වෙත ලබාදෙන මහවැලි ජලය මෙහි පළමු අදියරේදී ඉදිකළ ඇළ මාර්ග පද්ධති වෙත යැවීමට අවශ්‍ය ඇළ මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය දෙවන අදියර යටතේ සිදු කෙරෙනු ඇත.

මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරය යටතේ වයඹ පළාතේ වැව් 353 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ද 24 වනදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඒ අනුව ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 91 ක්ද, පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 119 ක් ද, මහව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 107 ක්, ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැවි 30 ක් සහ පලාගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වැව් 01 ක් දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 5 ක් වශයෙන් සංවර්ධනයට ලක් කිරීම සිදු වෙයි.

තමන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දුන් කටුක අත්දැකීමක් වූ ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පළාතේ ජනතාවගේ ඉමහත් ඇගයීමට ලක්ව තිබේ.

Read more

Local News