Tuesday, March 19, 2024.

යළිත් ජනවාර්ගික ප‍්‍රශ්නයකට ඉඩ නොතබා උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අයිතීන් දිනාදීමට වත්මන් රජය කැපවී සිටිනවා – ජනපති

Share

1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපතිතුමා පවසයි.

එබැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ එම සෑම රජයක් යටතේම යොමු කෙරුණේ අඩු අවධානයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ජනවාර්ගික ගැටලුව ඇතිවීමට හේතු වූ කරුණු ගණනාවක් අතරේ, නිසි දේශපාලන නායකත්වයක් එම පළාත් තුළින් නියෝජනය නොවීම ද එක් ප‍්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දුන්නේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ පුළුල් සංවර්ධනයක් ඇතිකිරීම වෙනුවෙන් ආරම්භ කළ “සිරිසර පිවිසුම” සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (20) ජනතා අයිතියට පවරා දෙමිනි.

යම් දිස්ති‍්‍රක්කයක් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ති‍්‍රක්කය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.

දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණය සඳහා රජය අරඹා තිබෙන පුළුල් වැඩසටහන පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රජයේ මෙම සංවර්ධන වෑයම ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට බවයි. පෙර රජ දවස ද වැව් සංස්කෘතිය සමග ගොඩනැගෙන කෘෂිකාර්මික සංවර්ධනය මඟින් ග‍්‍රාමීය ආර්ථිකය සමෘද්ධිමත් වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට වත්මන් රජය ද ප‍්‍රමුඛතාව ලබාදී තිබෙන බව සඳහන් කළේය. එමෙන්ම අපේකමට ඉහළ වටිනාකමක් ලබාදෙන දේශීය ආර්ථික ක‍්‍රමයක් සමග නිරෝගි ජාතියක් ලෙස ඉදිරියට යාමට එම වැඩපිළිවෙළ තුළින් ප‍්‍රබල දායකත්වයක් ලැබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු ගෝමරන්කඩවල බක්මීගම වැව ජනතා අයිතියට පවරාදීම සහ දීර්ඝ කාලයක් පුරා පවතින අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි 30 ක් වූ අලි වැට විවෘත කිරීම ද අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

Read more

Local News