අද පාර්ලිමේන්තුවට ජවිපෙන් විශ්වාසභංගයක්

Share

අද (05) දිනයේ ද පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසීය.

එහිදී, මේ වන විට ලබා දී ඇති අධිකරණ තීරණයත් සමඟ මෙම යෝජනාව අදාළ නොමැති වුවත් න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ මහතාගේ නීති විරෝධී පාලනයට විරුද්ධව තවත් අමතර විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය වී ඇති බව පෙන්වා දුන්නේය.

කාරක සභා සඳහා නියෝජිතයින් පත් කිරීම ද අද දිනයේ සිදු වනු ඇති බව ඔහු මෙහිදී කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිතය.

තවද, පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී නොවීමට ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. නිසි ක්‍රමවේදයන්ට අනුව පාර්ලිමේන්තුව නොපැවැත්වෙන බැවින් තම කණ්ඩායම තවදුරටත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න කියා සිටියේය.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අද පෙරවරුවේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර සිය මන්ත්‍රී කණ්ඩායම රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

Read more

Local News