මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී සහය දිමට මාලදිවයින් ජනපති එකඟ වෙයි

Share

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින – ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වි ඇත.

දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද(05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන විශේෂ වැඩපිළිවෙළත්, ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මෙහිදී මාලදිවයින ජනාධිපතිතුමාගේ දැඩි පැසසුමට ලක් විය.

දීර්ඝ කාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන් ම වෙළෙඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවුක ක්ෂේත්‍රවලට අදාළ ව දෙරට අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්‍රවලට අදාළ ව නව ගිවිසුම් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහි දී නායකයන් සාකච්ඡා කළහ.

එමෙන් ම දෙරට අතර ඒකාබද්ධ වෙළෙඳ අවස්ථා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලාංකික ආයෝජකයන් රැසක් මාලදිවයිනේ සිය ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙන්ම මෙරට අධ්‍යාපන කටයුතුවල නිරතවන මාලදිවයින සිසුන්ගේ වීසා නිකුත් කිරීම ඇතුළු පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන් ම දූපත් රාජ්‍යයන් සහ සාර්ක් රටවල් ලෙස කලාපයේ රටවල අභිවෘද්ධිය වෙනුවෙන් එක් ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඞ් සොලිහ් මැතිතුමා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Read more

Local News