සෙනරත්ගේ නඩුව අදත් – වැඩිදුර විමසීම හෙට

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(06) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද රණසිංහ මහතාගෙන් හතරවන දිනටත් සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නවීන් මාරපන යන මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට මෙහිදී සාක්ෂිකරු  පිළිතුරු ලබාදුන්නේය.

වැඩිදුර විමසීම හෙට(07) දිනට කල් තැබිණි.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර ඇත.

Read more

Local News