උතුරේ ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනපති කියයි

Share

උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ, උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ඊයේ(12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලූවලට ද ඒ සමගම විසඳුම් හිමිවන බවයි.

මේ අතර රත්නපුර, කෑගල්ල, කලූතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මහ මුහුදට ගලා බසින ජල කඳ නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි්‍රයාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී බලධාරින්ට පෙන්වා දුන්නේ ය.

පාරිසරික විනාශයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මඟින් කඩිනමි සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා කි්‍රයාත්මත සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී ක්‍රියාත්මක කිරීමට යෝජිත, යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

Read more

Local News