එල්ලූ‍ම් ගස සඳහා විදෙස් රටකින් නව කඹයක්

Share

එල්ලූ‍ම් ගස සඳහා විදෙස් රටකින් නව කඹයක් ලබා ගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පවතින කඹය ඒ සඳහා සුදුසු නොවන බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය මීට පෙර කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගත් බවයි.

ඒ අනුව මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය සිංගප්පුරුව, මැලේසියාව, පකිස්ථානය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවලින් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙරට දැනට පවතින කඹය 2015 වසරේ පකිස්ථානයෙන් මෙරටට ලැබී ඇත්තේ ද පරිත්‍යාගයක් ලෙසයි.

මේ අතර අලූ‍ගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගිය සඳුදා ආරම්භ කෙරුණා.

අයදුම්පත් කැඳවීම ලබන 25 වනදායින් අවසන්වීමට නියමිතයි.

එල්ලූ‍ම් ගස ක‍්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබුවේ ජනවාරි 25 වනදායි.

එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී ඇති රැඳවියන් සංඛ්‍යාව 17 ක්.

ශ‍්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක‍්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී යි.

Read more

Local News