තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා ලබා දීමට රජය සූදානමින් සිටිනවා – අගමැති

Share

වීරවිල, පශු සම්පත් ගොවිපල පරිශ්‍රයේ දී පැවැති “රුහුණු මාගම් යොවුන් පුරය 2017” නිරීක්‍ෂණ චාරිකාවට එක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මත්තල ගුවන්තොටුපොළත්, වරායත් රටට විශාල බරක් ලෙසයි පැවතුණේ රට විශාලතම ණය ප්‍රමාණයක් ලබාගෙන තිබුණේත් මේ සඳහා නිසා බැවින් යැයි ද එම ණය උගුලෙන් රට බේරා ගෙන මේ ප්‍රදේශයේ සංවර්ධනයක් ඇති කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා ලබා දීමට රජය සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම ප්‍රදේශයේ තිබෙන රැකියා පුහුණුව වැඩි කළ යුතු බවත් ඒ සඳහා වන සාකච්ඡා මේ වන විට සිදු කර තිබෙන අතර ඊට සහයෝගය දැක්වීමට චීන ආණ්ඩුවත් සූදානමින් සිටින බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා යොවුන් සේනාංක 04ක් ආරම්භ කරමින් රැකියා පුහුණුව සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
2016 – 2017 වර්ෂ යෙදෙව්වේ ණය බරින් කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමටයි. දැන් අප ක්‍රමානුකූලව රටේ ආදායම වැඩිකරගෙන තිබෙනවා. රටේ ආදායමින් කොටසක් අප වියදම් සඳහා යොදවන අතර, අනෙක් කොටස ණය පියවීමට යොදා ගන්නවා. 2018 – 2019 වර්ෂ විශාල ලෙස ණය ගෙවීමට ඇති වසර 02ක් ලෙස හඳුන්වන්නට පුළුවන්. රුපියල් කෝටි ලක්‍ෂ 03 ක් එම කාලය තුළ ගෙවීමට අපට සිදුව තිබෙනවා. අප එය ගෙවා දැමුවේ නැත්නම් තරුණ ඔබට අනාගතයක් නැති වෙනවා. මෙම ණය කන්ද පියවීම අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කළ යුතු බවත් ඉදිරි පරම්පරාවට එය භාර නොදිය යුතු බවත් මා පැවසුවේ එම නිසායි.
අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්යය කර තිබෙනවා. තාක්‍ෂණ අධ්‍යාපනය රට තුළ ආරම්භ කර තිබෙනවා. එන වසරේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ්ලට් පරිගණක ලබා දෙනවා.  “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ සියලු දේ සඳහා අපට මුදල් අවශ්‍ය වෙනවා.
ගම්මානවල, නාගරික ප්‍රදේශවල, උතුරු, නැගෙනහිර ප්‍රදේශවල උඩරට, වතුකර ප්‍රදේශවල ජනතාවට නිවාස ලබා දීමට මුදල් අවශ්‍ය වෙනවා. සෞඛ්‍ය අංශයට , ගම්මානවල මාර්ග ඉදිකිරීම් ආදියට මුදල් අවශ්‍ය වෙනවා. මේ සියලු දේ සිදු කරන අතර රට සංවර්ධනය කරමින් රැකියා අවස්ථා නිර්මාණය කිරීමත් අප සිදු කළ යුතුයි.
සෑම දියුණු රටකම සිදු කර ඇති ආකාරයට පුද්ගලික ආයෝජන හරහා රටේ ව්‍යාපාර ඇති කරමින් රට සංවර්ධනය කර රැකියා අවස්ථා බිහිකිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ අවධානය යොමු වන්නේ ඒ සඳහායි. හම්බන්තොට ප්‍රදේශයට අප ගෙන එන්නේත් එම වැඩපිළිවෙළයි. චීනය, ජපානය ආදී ලෝකයේ විවිධ රටවල ව්‍යාපාර අප හම්බන්තොට ප්‍රදේශයට ගෙන එනවා. එම ආයෝජකයින් හම්බන්තොටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කාර්යාලය අප හෙට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.
රටට විදේශීය ආයෝජකයින් ගෙන්වා ගනිමින් දේශීය සමාගම්වල ආයෝජන වැඩි කරමින් එම කටයුතු සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එවිට සියලු ම නගර තරගකාරී ආර්ථික රටාවකට එකතු වෙනවා. එවිට හම්බන්තොට ප්‍රදේශයට කොළඹ, මාතර, ගාල්ල ආදී ප්‍රදේශ සමග ආර්ථිකමය අතින් තරග කිරීමට හැකියාව ලැබෙනවා.
චීනය, ජපානය, ඉන්දියාව ආදී සියලු ම රටවල් සමග එක්ව  වැඩකටයුතු කරමින් සිටින බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා ජී.එස්.පී. ප්ලස් හරහා යුරෝපීය වෙළෙඳපළට පිවිසීමේ හැකියාව ද අපට ලැබී තිබෙන අතර ම අනෙකුත් ජාත්‍යන්තර වෙලෙඳපොළවල් සඳහාද අප භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News