රන්ජන්ට එරෙහි පැමිණිල්ල මාර්තු මස යළි කැඳවයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලම මාර්තු මස 13 වනදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද(26) ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය ලබන 13 වැනිදා කැදවන බවයි.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කර නොතිබුණ ද අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

මෙම පැමිණිල්ලට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත් නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඒ මහතා සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව මෙම නඩු කටයුත්ත ආරම්භ කර තිබෙනවා.

Read more

Local News