Tuesday, March 19, 2024.

හදට හදක් භාරකාර අරමුදලට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක්

Share

හදවත් සැත්කම් සිදුකිරීමට අවශ්‍ය අසරණ රෝගීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “හදට හදක්” භාරකාර අරමුදල සඳහා රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පසුගිය 16 වනදා, හදට හදක්, භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා එහිදී ලබාදුන් පොරොන්දුව අනුව මෙම මුල්‍ය ප්‍රදානය සිදු කිරීමට පියවර ගත්තේ ය.

පොළොන්නරුව බෞද්ධ සංගමයේ ද දායකත්වය ඇතිව මෙම මුල්‍ය ප්‍රදානය සිදු කර තිඛෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන් වෙත පිළිගැන්වීය.

මේ අතර ගම්පහ අකරවිට අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයක් එම විහාරාධිපති පූජ්‍ය මඩවලතැන්නේ විමලසාර ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජාතික තරුණ සේවා සභාව මගින් 2019 වසරේ සංවිධානය කරනු ලබන යොවුන්පුර තරුණ කඳවුර සඳහා පොළාන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගි වන තරුණ තරුණියන්ට අනුග්‍රහය දක්වන ලෙස කරන ලද ඉල්ලීම අනුව මුල්‍ය ප්‍රදානයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා යන ගීත රචිකාවියන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන සංගීත උලෙළ සඳහා අනුග්‍රාහක මුදලක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News