සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් අවශ්‍ය බව ජනපති කියයි

Share

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසලකා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා අභියෝග පිළිබඳ ඊයේ(04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔවුන් පැහැදිලි කිරීම් සිදු කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳ කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබා දී නොමැති බවයි.

සමීප මහජන සේවාවක් සපයන අතරතුරම වැරදිකරුවන්ට එරෙහිව නිසි පියවර ගනිමින් රට සහ මහජනතාව වෙනුවෙන් පැවරී ඇති කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට පොලිස් සේවයේ සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් එහි දියුණුවට කටයුතු කරනවා සේම දෛනිකව පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ද විද්‍යාත්මක පදනමකින් සකස් කෙරුණු විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා විද්වත් සහ විශේෂඥ සහය ලබාගනිමින් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා පෙර පැමිණිලි පිළිබඳ අධ්‍යයනය කරමින් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද පැහැදිලි කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දියුණු රටක ලක්ෂණය වන්නේ පොලිස් ස්ථාන හෝ සිරගෙවල් වැඩි කිරීම නොව වැරදි වළක්වා ගැනීම සඳහා ගතයුතු සමාජමය වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කිරීම බවයි.

පොලිස් නිලධාරින්ගේ බඳවාගැනීම්, ස්ථාන මාරුවීම් සහ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

Read more

Local News