ශ්‍රි පාද පියගැට පෙළ අසල නාම පුවරුවක්

Share

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය පාලමට ඉහලින් ශ්‍රි පාද පියගැටපෙල ආරම්භ වන ස්ථානයේ ශ්‍රි පාදස්ථානයට අගෞරවයක් නොවන සේ සිංහල භාෂාවෙන් සහ දමිල භාෂාවෙන් පමණක් නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරිමට කටයුතු කරන බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පැවසිය.

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ සභා සම්මත කරගත් යෝජනාවක් ක්‍රියාවට නංවමින් එම මාර්ගයේ පියගැටපෙල දකුණු පසින් එම නාම පුවරුව ප්‍රදර්ශනය කිරිමට සැලසුම් කර ඇති බවයි සභාපතිනිය කියා සිටියේ.

දැනට එම මාර්ගයේ වම් පස සිංහල භාෂාවෙන් ගෞතම ශ්‍රි පාදස්ථානය යනුවෙන්ද, දමිල භාෂාවෙන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ සිරි පතුල යනුවෙන් (ගෞතම බුද්ධ භගවානින් ශ්‍රි පාදස්ථානම්) යනුවෙන් සදහන් කර ඇති බවයි සභාපතිනිය පවසන්නේ.

ශ්‍රි පාදස්ථානය ඉතිහාසයේ සිට දමිල ජනතාව සිවනොලි පාද මලෙයි යනුවෙන් හැදින්වු බවත්, නව අර්ථකථනය දමිල ජනතාවට පැහැදිලි නොවන නිසා ශ්‍රි පාදස්ථාධිපති පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සබරගමු පලතේ ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේව මේ පිලිබදව දැනුවත් කර උන් වහන්සේගේ අනුමැතිය ඇතිව සිංහල භාෂාවෙන් ශ්‍රි පාදස්ථානය සහ දමිල භාෂාවෙන් සිවනොලි පාද මලෙයි යනුවෙන් එම නාම පුවරුවේ සදහන් කිරිමට සැලසුම් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනිය කියා සිටියි.

තමන් හින්දු ජාතියට අයත් වුවද බෞද්ධ දර්ශනයට දැඩි ලෙස ගරු කරන බවත්, ශ්‍රි පාදස්ථානය හින්දු ජනතාව හදුන්වන්නේ සිවනොලි පාද මලෙයි යනුවෙන් නිසා එම නම ප්‍රදර්ශනය කිරිමට සැලසුම් කල බවයි සභාපතිනිය කියා සිටියේ.

එම නාම පුවරුව ඉදි කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, තවදුරටත් ඒ පිලිබඳව ශ්‍රි පාද ස්ථානාධිපති හිමියන්ගෙන් උපදෙස් ලබාගෙන උන් වහන්සේගේ ආශිර්වාද මධයයේ ඉදිරි කටයුතු කිරිමට අදහස් කරගෙන සිටින බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සභාපති ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය අප කල විමසුමකට වැඩි දුරටත් කියා සිටියේ.

Read more

Local News