ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම කල්යයි

Share

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ලබාදුන් තීරණයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීම සඳහා මේ මස 26 වැනිදා දක්වා කල් තැබීමට  අභියාචනාධිකරණය නියම කළේය.

අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වෙත පෙන්වා දුන්නේ පෙත්සම සලකා බැලීමට පෙර එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි භාරදීම වැදගත් බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් වෙත ලබා ඇති බවට තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සමාජිකයින් වන සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවරුන් වෙත යලි නොතීසි යවන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට උපදෙස් දුන්නේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 26 වන දාට කල් තැබුණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පවරා ඇති බවයි.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එම නඩුව විභාග කිරීමට තීන්දු කළ බව ද  ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ය.

එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ගොනුකිරීම සඳහා අභියාචනා අවසරපත් ඉදිරිපත් කළ අවස්ථාවේ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීම කොලඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියා.

එසේ සිය අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය නීති විරෝධී යැයි තීන්දු කරන මෙන් ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම පිළිබඳ අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය ඉල්ලා සිටියා.

Read more

Local News