ගෝඨාගේ නඩුවේ ආටිගලට රට යන්න අවසර

Share

පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ හතර වන විත්තිකරු ලෙස නම් කර සිටින ධම්මික ආටිගල නැමැත්තාට විදේශගතවීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(21) අවසර ලබාදුන්නේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

මෙම නඩුවේ 4 වන විත්තිකරු ලෙස නම් කර සිටින සුධම්මික ආටිගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ප්‍රවාහනය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා එරට සංචාරය කිරීමට අවශ්‍යව ඇති බව දන්වා සිටියේය.

මේ හේතුවෙන් අප්‍රේල් මස 29 දා සිට මැයි මස 07 වනදා දක්වා විදේශගත වීමට අවශ්‍යව ඇතැයි සඳහන් කළ මෙම නීතිඥවරයා ඒ සඳහා දැනට තම සේවාදායකයාට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන්නැයි ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ කාල සීමාව සඳහා එම විත්තිකරුට විදේශගත වීම සඳහා අවසර ලබාදුන් අතර දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස නියම කළේය.

Read more

Local News