මිල අඩු කළ භාණ්ඩ අඩු කළ මිලට නොදෙන ව්‍යාපාරිකයන්ට දැඩි පියවර ගන්නවා – ඇමැති මංගල සමරවීර

Share

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළේ අයවැයට පෙර දිනයේදී මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ එම අඩු කළ මිල ගණන්වලට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු නොකරන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද පහත හෙළීමේ වාසිය රටේ පාරිභෝගික ජනතාවට හිමිවිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා අයවැය ඉදිරිපත් කිරීමට පෙර දිනයේම හාල් මැස්සන්, අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, කරවල, පොල්තෙල්, ඇතුළු භාණ්ඩ විදේශයන්ගෙන් ආනයනය කිරීමේ දී අයකරන විශේෂ වෙළද භාණ්ඩ බද්ද පෙරේදා (08) මධ්‍යම රාත්‍රියේ සිට පහත හෙළීමට රජය පියවර ගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව හාල්මැස්සන් කිලෝවකින් රුපියල් 10ක්, අර්තාපල් කිලෝවකින් රුපියල් 39ක්, ලොකුලූනු කිලෝවකින් රුපියල් 39ක්, පරිප්පු කිලෝවකින් (සම්පූර්ණ) රුපියල් 09ක්, පරිප්පු රුපියල් 12ක්, කරවල කිලෝවකින් රුපියල් 50ක්, එළවළු තෙල් කිලෝවකින් රුපියල් 15ක්, ෆාම් තෙල් කිලෝවකින් රුපියල් 15ක් ලෙස බදු අඩු කළ බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

ඊට අමතරව ශුද්ධ කළ ෆාම් තෙල් කිලෝවකින් රුපියල් 25ක්, ශුද්ධ කළ අනෙකුත් එළවළු තෙල් කිලෝවකින් රුපියල් 25ක්, ශුද්ධ නොකළ ෆාම් කර්නල් තෙල් කිලෝවකින් රුපියල් 25ක්, ශුද්ධ කළ ෆාම් කර්නල් තෙල් කිලෝවකින් රුපියල් 35ක් සහ පොල්තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ) කිලෝවකින් රුපියල් 25ක් බදු අඩු කළ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අන්දමට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමට ප්‍රධාන ලෙස බලපාන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටම පහත හෙළන ගැසට් පත්‍රය නිකුත් කළ බව හෙතෙම කීය. මේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමෙන් මාසයකට රජයට රුපියල් මිලියන 1,500ක ආදයමක් අහිමි වන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

Read more

Local News