10 වන යොවුන්පුරය හම්බන්තොටදී අද ආරම්භ වෙයි

Share

10 වන යොවුන් පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී අද(27) සිට ආරම්භ වෙයි.

අද 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම යොවුන් පුරයට ලංකාවේ දස දෙසින්ම තරුණ තරුණියන් සහභාගී වෙයි.

1984 වසරේදී එවකට යෞවන කටයුතු හා රැකී රක්ෂා කටයුතු අමාත්‍යවරයාව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව යොවුන් පුරය ආරම්භ විය. ඒ අනුව පළමු යොවුන් පුරය එම වර්ෂයේදීම පොලොන්නරුවෙන් ඇරඹිණි.

ඉන් පසුව කුලියාපිටිය, මාතලේ, අනුරාධපුරය, බණ්ඩාරවෙල, ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශ වලදී 1988 වසර දක්වා ක්‍රියාත්මක විය. ඉන්පසුව විවිධ හේතූන් නිසා අකර්මණ්‍ය වූ යොවුන්පුර වැඩසටහන නැවත 2016 වසරේදී මාතලේ සීගිරිය ප්‍රදේශයේදී ආරම්භ විය. ඒ සඳහා තරුණ තරුණයින් පන්දහසක් සහභාගි වුණි.

2017 වසරේදී හයදහසකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේදීද, 2018 වසරේදී කුරුණෑගල නිකවැරටිය පශුසම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී තරුණ තරුණයින් හත්දහසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය.

මෙම යොවුන් පුරවලින් ලද අත්දැකීම් හා පන්නරය මුල්කර ගනිමින් 2019 වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදි 10 වන යොවුන් පුරය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.

මෙම යොවුන්පුරය සඳහා යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් 6900ක්ද, විදේශ තරුණ තරුණියන් 100ක්ද, යෞවන තිළිණලාභීන් සහ අපේක්ෂකයින් 100ක්, බාලදක්ෂයින් 250ක්, බාලදක්ෂිකාවන් 100ක්, ශිෂ්‍යභට බලකාය 100ක්ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 100ක්, ශිෂ්‍ය පාර්ලිමේන්තු හා ශිෂ්‍යනායක 100ක්, වෘත්තීය පුහුණුලාභීන් 500ක්ද වශයෙන් 8300 ක පිරිසක් මෙම යොවුන්පුරට සහභාගිවීමට කටයුතු සැලසුම් කර ඇත.

දකුණු ආසියාවේ විශාලතම තරුණ ජාලය පිහිටා ඇත්තේ තරුණසේවා සභාව සතුවයි එහි එක් අංශක් ලෙස මෙම යොවුන් පුර වැඩසටහන පෙන්වා දිය හැක. යොවුන් පුරය හරහා තරුණ තරුණියන්ට නායකත්වය පිළිබදව අත්දැකීම් ලබා ගනිමින් තම පෞරුෂ වර්ධනය ක්‍රීඩා සංස්කෘතික හා කලා අධ්‍යාපනික ව්‍යවසායකත්ව හා රැකියා අවස්ථා ලබාදීම සඳහා වූ වැඩසටහන් රාශියක් නිර්මාණය කොට ඇත.

මෙවර යොවුන් පුරයේ අරමුණ වන්නේ ජාතික සංහිදියාව හා සම්මුතිවාදය පිළිබඳ අවබෝධයක් අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබාදීම, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනයට උපකාරී වන ලෙසින් අධ්‍යාපනික, ක්‍රීඩා, සංස්කෘතික, හා විනෝද වැඩසටහන් සාමුහිකත්වයෙන් සහ සහජීවනයෙන් යෙදීමට අවස්ථාව ලබා දීම, තරුණ සංවර්ධනයේදි තොරතුරු තාක්ෂණය, මාධ්‍ය භාවිතය පුළුල් කිරිම, ජාතික ප්‍රතිපත්ති සහ සංවර්ධනය පිළිබද තරුණ තරුණියන් අතර සංවාද ඇතිකිරිම තුළින් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනෙහි නියමුවන් ලෙස කටයුතු කිරීමට මෙම කදවුරු වැසියන් සූදානම් කිරිම, ග්‍රාමීය සංවර්ධන කටයුතු වලදි තරුණ තරුණියන් සහභගි කරවා ගැනිම ද වේ.

මෙම යොවුන් පුරයේදී ක්‍රියාත්මක වැඩසටහන් රාශියක් ඇත. අධ්‍යාපනික හා තාක්ෂණික වැඩසටහන්, තොරතුරු තාක්ෂණය, නායකත්ව පුහුණු හා පෞරුෂත්ව සංවර්ධනය, ක්‍රීඩා වැඩසටහන්, සංස්කෘතික තරග, යොවුන්පුර කුමරා සහ කුමරිය තේරීම, සංගීත රසවින්දනාත්මක වැඩසටහන්, ශ්‍රමදාන හා ගවේෂණාත්මක සහ පැළ සිටුවීමේ වැඩසටහන්, ව්‍යවසායකත්ව හා මාර්ගෝපදේශන හා උපදේශන වැඩසටහන්, මාධ්‍ය වැඩසටහන් හා මාධ්‍ය ප්‍රදර්ශන කලාපය යන වැඩ සටහන් ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News