අර්ජුන මහේන්ද්‍රන්, ඇලෝසියස්‌ , රවි කරුණානායක සහ කසුන්ගේ දුරකථන රහස්‌ කොමිසමට

Share

අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස්‌, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු කොමිසම හමුවේ නම් සඳහන් වූ පුද්ගලයන් කීප දෙනකු අතර හුවමාරු වූ දුරකථන පණිවුඩ අදාළ තොරතුරු රැසක්‌ ඇතුළත් කොට සකස්‌ කරන ලද වාර්තාවක්‌ රහස්‌ පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක යසන්ත යෙහාන් ජයසිංහ මහතා ඊයේ (16 දා) බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.

දුරකථන පණිවුඩ හුවමාරු කරගත් පුද්ගලයන්ගේ නම් දුරකථන අංක ගතවූ කාලසීමාව ඇතුළත් කොට එම වාර්තාව සකස්‌ කළේ රහස්‌ පොලිස්‌ අධ්‍යක්‌ෂවරයාට බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් ලැබුණු නියෝගයක්‌ උඩ බව ද උප පොලිස්‌ පරීක්‌ෂක ජයසිංහ මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි දෙමින් පැවසීය.

තමාට ලැබුණු උපදෙස්‌ අනුව තමා විශේෂයෙන් අවධානය යොමු කළේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්‌ එකී කාලසීමාව තුළ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සමඟ පැවැත් වූ සම්බන්ධතා හෙළිකර ගැනීම සඳහා බවත් අවශ්‍ය තොරතුරු රැස්‌කරගත්තේ ඔවුන් භාවිත කළ දුරකථන වලින් ලබාගත් දත්ත සහ එම දුරකථන ලබාගෙන තිබූ එටිසලාට්‌ සහ ඩයලොග් සමාගම් විසින් කොමිසමට එවා තිබූ එම දුරකථනවල අන්තර්ගත දත්ත සහ තොරතුරු උපයෝගී කරගෙන බවත් උප පොලිස්‌ පරීක්‌ෂක ජයසිංහ මහතා කීවේය.

අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්‌ යන දෙදෙනා ඇතුළු පුද්ගලයන් රැසක්‌ භාවිත කළ ජංගම දුරකථනවල අන්තර්ගත දත්ත සහ තොරතුරු උකහාගෙන ඒවා කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසම එම දුරකථන සේවා සපයන සමාගම් දෙකකට නියෝග කර තිබුණු බව ද සඳහන් කළ සාක්‌ෂිකරු එම නියෝග තමා දුටු බවත්, තමා කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවේ ඒ පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කර තිබෙන බවත් කීය.

මෙම වාර්තාව කොමිසමට ඉදිරිපත් කරනවාට අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ චානක සිල්වා මහතා දැඩි විරෝධයක්‌ මතු කළ නමුත් එම වාර්තාව ඉදිරිපත් කිරීමට කොමිසම අවසර දුන්නේ ය.

අධිනීතිඥ සිල්වා මහතා වාර්තාවට විරෝධය පළ කරමින් කියා සිටියේ වාර්තාව සකස්‌ කර තිබෙන්නේ රහස්‌ පොලිසියට ලැබුණු තොරතුරු මත බවත් තොරතුරු මොනවා දැයි තමන් දන්නේ නැති බවත් හිටි හැටියේම කොමිසමට එවැනි වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම ඉන් බලපෑමක්‌ ඇතිවිය හැකි පුද්ගලයන්ට කරන බලවත් අසාධාරණයක්‌ බවත් ය.

කොමිසමේ සභාපති චිත්‍රසිරි මහතා – ඒ වාර්තාවේ පිටපතක්‌ ඔබට ලැබිලා තියෙනවානේ. ඒක දැන් කියවා බලා සාක්‌ෂිකරුගෙන් ඕනෑම ප්‍රශ්නයක්‌ අහන්න.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම පිට සාක්‌ෂි දීම ආරම්භ කරමින් රහස්‌ පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක ජයසිංහ මහතා පැවසුවේ ඔහු පොලිස්‌ සේවයට බැඳුනේ 2013 දී බවයි.

මුලින් කළුතර පොලිසියට සම්බන්ධ වී දින 03 ක්‌ සේවය කිරීමෙන් පසුව මතුගම පොලිසියට මාරුවක්‌ ලැබුණු බවත් ඊට පසුව රහස්‌ පොලිස්‌ සන්නිවේදන තාක්‌ෂණ පරිගණක අංශයට සම්බන්ධ වූ බවත් ඊට පසුව ගතවූ කාලය තුළ එම තාක්‌ෂණ කටයුතු පිළිබඳ පුහුණුවීම් ලබා ඇති බවත් ඔස්‌ටේ්‍රලියාවෙන් පැමිණි විශේෂඥයන් පිරිසක්‌ යටතේ ද පුහුණුවක්‌ ලැබූ බවත් හෙතෙම ප්‍රකාශ කොට ඇත.

Read more

Local News