ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතුයි

Share

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්ථවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද(15) පෙරවරුවේ චීනයේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු, ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමිනි.

ප්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම සමුළුව චීන ජනාධිපති ෂින් ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

රටවල් 47ක රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් දෙදහසකට වැඩි පිරිසක් සමුළුවට එක්ව සිටින අතර ගෝලීය අභියෝග රැසකට මුහුණ දෙන මානව සංහතියේ පැවැත්ම උදෙසා ලෝක ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සුරැකීමේ අරමුණ ඇතිව ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සහ දැනුවත් කිරීම මෙම සමුළුවේ දී සිදු කෙරේ.

සමුළුව අප්‍රේල් 22 වනදා දක්වා බීජිං නුවර දී පැවැත්වෙයි.

සමුළුව ඇමතූ ජනාධිපතිවරයා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කථා කරන මෙම සමුළුවෙන් නැගෙන හඬ සහ චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ නායකත්වයෙන් යුතුව මිත්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත්කරගත යුතු බවයි.

ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර, ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇත්තේ වසර 2600කට වැඩි බෞද්ධ ශිෂ්ටාචාරයකට අනන්‍ය වූ පදනමක් මත වන අතර, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ බර්ගර් යන ජන කොටස් එහි ජීවත්වන අතරම ඔවුන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම්වලට අයත්වන බවයි.

කිසිදු රටකට, කිසිදු ජාතියකට හෝ කිසිදු ශිෂ්ටාචාරයකට මෙන්ම සංස්කෘතියකට තර්ජනයක් නොවන ලෙස නිදහසේ සහ සාමකාමීව කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයට සහ සංස්කෘතියට නොපෙනෙන බලවේගවලින් එල්ලවන අභියෝගවල දි සෑමවිටම සියලූදෙනා එකාවන්ව අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එබැවින් තමන්ට අනන්‍ය වූ ශිෂ්ටාචාරය සහ සංස්කෘතික වැදගත්කම් සමඟ එකම ජාතියක් ලෙස සියලූ මිත්‍රශීලී රටවල් අතර බැඳීම් ශක්තිමත් කර ගැනීමේ පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතවය මතුව ඇති බවත්, චීනය වැනි විශිෂ්ට ශිෂ්ටාචාරයක් තිඛෙන රටක් මෙවැනි සමුළුවක් පැවැත්වීම තුළින් ඒ සඳහා තබන ලද පියවර දැඩිව අගය කළ යුත්තක් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම සංවාදය සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාවක් ලබාදීම පිළිබඳ චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ඇතුළු චීන රජය වෙත සිය ගෞරවණීය ස්තූතිය පුද කළේය.

Read more

Local News