පොලිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 31 වනදා

Share

පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 31ක් වන දා සිදූකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අද(21) බුවනෙක අලුවිහාරේ, එල්ල.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටි අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මෙම නඩුවට අදාළව නොතීසි ලැබී නොමැති අතර ජනමාධ්‍ය වල පළ වූ වාර්තා ඔස්සේ දැනගත් කරුණු ඔස්සේ අද දින තමන් පෙනී සිටින බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙහි තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා වෙනුවෙන් අද දින තමන් පෙනී සිටියද ඔහු වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව ඊළඟ දින දැනුම් දෙන බව රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම මේ මස 31 වන සිදු කරන බව ප්‍රකාශ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින ඊට අදාලව කරුණු දක්වන ලෙසයි පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පියා වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබිණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටියේය.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

වග උත්තරකාරුවනගේ ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News