ජනපති වයඹ විජයාභිමානී ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන උළෙලට එක්වෙයි

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වයඹ පළාතේ ව්‍යවසායකයින්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන, වයඹ විජයාභිමානී, ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන උළෙලට ඊයේ (24) පස්වරුවේ කුරුණෑගල පළාත් සභා ශ‍්‍රවණාගාරයේ දී එක්විය. එහිදී ජනපති පැවසුවේ,

සරුංගලය පවා පිටරටින් ආනයනය කරන තත්ත්වයක් තුළ අපේ දේ රැක ගැනීම මෙන්ම ඊට වටිනාකමක් ලබාදීම පිළිබද අද අප සිටින තත්ත්වය සියලූදෙනාගේ අවධානයට යොමු විය යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් අහිමි වන්නේ දේශීය කර්මාන්ත පමණක් නොව රටේ දරුවන්ගේ නිර්මාණශිලිත්වය හා හැකියාවන් බව ද කියා සිටියේය.
රටේ පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිකයින්ගෙන් සියයට 70 ක් පමණ වූ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතු පිරිස් දිරි ගන්වමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය ප‍්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරමින් සිටින අතර මෙවර අය වැය තුළින් ද ඔවුන් වෙනුවෙන් විශේෂ සහන මෙන්ම ණය යෝජනා ක‍්‍රමයක් හදුන්වාදීමට කටයුතු කළ බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

විදේශීය වත්කම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී අප ඉතා පහළ මට්ටමක සිටින අතර, රටක සංවර්ධනය මනින ප‍්‍රධාන මිණුම් දණ්ඩක් වන විදේශ වත්කම් දැනට වඩා ශක්තිමත් කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කි‍්‍රයාශිලිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

විදේශීය ආයෝජන රටට ගෙන ඒමේදී රටේ ස්වාධීනත්වය මෙන්ම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂාවන අයුරින් එම කටයුතු සිදුකිරීමට රජය කැපවි සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

වයඹ පළාතේ ආර්ථිකයට ඝෘජුව දායකවන ව්‍යවසායකයින් විධිමත් ඇගයීමකට ලක්කිරීම සහ ඔවුන් දිරිමත් කිරීමේ අරමුණ පෙරදැරිව වයඹ පළාත් සභාවේ මගපෙන්වීමෙන් වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශය මෙම සම්මාන උළෙල සංවිධානය කරයි. පළාතේ සිටින ව්‍යවසායකයින් ඇගයීමට ලක්කිරීම, පළාතේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීම, ව්‍යවසායකයින් ක්ෂේත‍්‍රයේ සිටින විශිෂ්ටයින් බවට පත් කිරීම සඳහා පෙළඹවීම යන අරමුණු ඔස්සේ කර්මාන්ත, නිෂ්පාදන, කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර හා සංචාරක ක්ෂේත‍්‍ර ආවරණය කරමින් මෙම සම්මාන පිරිනැමේ.

 

Read more

Local News