අගමැතිගෙන් එජාප මන්ත්‍රී කණ්ඩායමට අවවාද

Share

දේශපාලනයේ දී වගකීෙමන් ක්‍රියා කරන ලෙසත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය නොකළයුතු ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27) අවවාද කළේය.

සම්මුතිවාදී ජාතික රජයේ පවතින එකඟතාවයන්ට හානිවන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද අගමැති වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) සවස පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. තමන් ඉන්දීය නිල සංචාරයේ යෙදී සිටිද්දී එජාප මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයක් පිළිබඳ තම අවධානය යොමු කළ බව කී අගමැතිවරයා මින් ඉදිරියට තම අනුමැතියෙන් තොරව මෙවැනි මාධ්‍ය හමු නොපවත්වන ලෙසද දැනුම්දී තිබේ. ඉන්දියාවේ සංචාරය නිම කර දිවයිනට පැමිණීමෙන් පසු තමා ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළ බවද ඒකාබද්ධ විපක්ෂය සමඟ ශ්‍රීලනිපය කරන සාකච්ඡා තමන්ට වැළැක්විය නොහැකි බවත් එසේ කළහොත් සිය පක්ෂය කැඩූ නායකයකු ලෙස දෝෂ දර්ශනයට ලක්වන බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසුවේයැයි අගමැතිවරයා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිපය සමඟ එකතු වන්නේ නම් එය ප්‍රශ්නයක් කර නොගෙන ඉදිරි මැතිවරණවලදී එජාප ජයග්‍රහණය කළයුතු බව අගමැති මෙහිදී අවධාරණය කළේ ය.

Read more

Local News