ජී 20 නායක සමුළුව ආරම්භ වෙයි

Share

ජී 20 නායක සමුළුව ජපාන අගමැති ෂින්සෝ අබේගේ ප්‍රධානත්වයෙන් අද එරටදී ආරම්භ වුණි.

ලෝකය ගමන් ගන්නා ආර්ථික හා දේශපාලනික දිශානතිය තීන්දු කරන එක් සාධකයක් ලෙස ජී- 20 සමුළුව සැලකෙයි.

ලෝකයේ ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන් සහභාගි වන ‘ජී 20’සමුළුව මෙවර පැවැත්වෙන්නේ ජපානයේ ඔසාකා නුවරදීය.

‘ජී20’හෙවත් ‘20 දෙනාගේ කණ්ඩායම’ට ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 19 යේ රාජ්‍ය නායකයන් සහ යුරෝපා සංගමය ඇතුළත්ය.

ආර්ජන්ටිනා ජනාධිපති මවුරිසියෝ මාක්රී, ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, චීන ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ජර්මන් චාන්සල්වරිය  ඇන්ජලා මර්කල්, ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ  විඩෝඩෝ, ඉතාලි අගමැති ජුසෙපි කොන්ටි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු, මෙක්සිකෝව වෙනුවෙන් එරට විදේශ ඇමැති මාර්සෙලෝ එබ්රාඩ් , දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් නව අගමැතිවරයකු පත්වන තෙක් ධුරයේ කටයුතු කරන අගමැතිනී තෙරේසා මේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුවට සහභාගී වෙයි.

මෙවර සමුළුවේ සත්කාරකරු ජපානය හෙයින්, සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද ජපාන අගමැති ෂින්සෝ අබේ විසිනි.

ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් එහි සභාපති ෂෝන් ක්ලෝඩ් ජන්කර් සමුළුවට සහභාගී වෙයි.

මෙවර ‘ජී20’සමුළුවේදී ප්‍රධාන තේමාව වන්නේ ‘මානුෂීයමය අනාගත සමාජයක් ගොඩනැගීම’යන්නයි.

ගෝලීය ආර්ථික කටයුතු, වෙළෙඳ සහ ආයෝජන කටයුතු, නව්‍යකරණය, ත්‍රස්තවාදය පිටු දැකීම, පරිසරය සහ බලශක්ති පිළිබඳ කටයුතු, සංවර්ධනය, කාන්තාවන් වෙනුවෙන් වැඩි තැනක් දීම සහ සෞඛ්‍ය ආදී වශයෙන් මාතෘකා සම්බන්ධයෙන් ද සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇත.

සමුළුව වෙනුවෙන් සුපුරුදු පරිදි විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මකයි.

එමෙන්ම, ‘ජී20’ සමුළුවට විරෝධය දක්වන කණ්ඩායම් ද සුපුරුදු පරිදි ඔවුන්ගේ විරෝධතාවල නියැලෙන බව වාර්තා වෙයි.

ලෝක නායකයන් වසරකට වරක් එක් රැස් වී, කා බී විනෝද වෙනවා හැර ලොවට යහපතක් කිරීමේ අරමුණක් ඔවුන්ට නැති බව එම විරෝධතාකරුවන්ගේ අදහසයි.

පසුගිය වසරේ එනම් 2018 දී ‘ජී20’ සමුළුව පැවැත්වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයිරේස් අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි.

ලබන වසරේ එනම් 2020 දී ‘ජී 20’ පැවැත්වෙනු ඇත්තේ සෞදි අරාබියේදීය.

‍ජපානයේ ඔසාකා නුවර පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාව කැපී පෙනෙයි.

දෙරට අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වී ඇති පසුබිමකදී මෙම හමුව සිදුවීම විශේෂත්වයකි.

එහිදී දෙරට අතර  වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති වී  තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසෙයි.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, සිය භාණ්ඩ සඳහා ඉන්දියාව පැන වූ අධික බදු ඉවත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

එක්සත් ජනපදය විසින් ඉන්දියාවට GSP සහනය ලබා දීම අවලංගු කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමට ප්‍රතිචාර ලෙස මෙම මස මුලදී ඉන්දියාව විසින් එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ 28ක් සඳහා තීරුබදු ඉහළ නැංවීය.

රාජ්‍යයන් දෙක විසින් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් එකිනෙකා වෙත බලය පෙන්වමින් සිටින අවස්ථාවේදී ට්‍රම්ප් මෙම චෝදනා ඉදිරිපත් කළේය.

අමෙරිකානු ජී.එස්.පී බදු සහනය බුක්ති විඳින ලද විශාලතම රට ඉන්දියාවයි.

ඒ යටතේ ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ, තීරු බදු සහන යටතේ අමෙරිකාවට ආනයනය කෙරුණි.

කෙසේ වෙතත් සාකච්ඡා මාර්ගයෙන් වෙළෙඳ යුද්ධය අවසන් කර ආර්ථික සබඳතා තර කර ගැනීමට දෙරටේ නායකයින් එකඟ වනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News