ශ්‍රී ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර මිත්‍රශීලි හමුවක්

Share

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබද සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ඊයේ (28) දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28) පස්වරුවේ එක් වූ අතර, සියලූදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය.

එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය. මෙම නිහතමානී සහ විශිෂ්ඨ පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිවරයා මෙම හෘදයාංගම මිත්‍රශිලිත්වය තම ජීවිතයේ සුවිශේෂි මතක සටහනක් බව ද සඳහන් කළේය.

එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් පිළිබද ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණි නායකයින් ලෙස ජනාධිපති ධූරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සඳහන් කළේය.

එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රැසක් පවතින බව සදහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටී අතර, යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ රටවල් බව කියා සිටියේය. යුද ජයග්‍රහණයෙන් පසු සීග්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැසක් ඉදිරියේ දී නිර්මාණයවනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. දෙරටේ නායකයින් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප්‍රධානී පූජ්‍ය Seol Jeong හිමියන් නිහතමානී නායකයින් දෙදෙනෙකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සඳහන් කළේය.

1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය.

Read more

Local News