අලි පැටවෙක් නිසා මහේස්ත්‍රාත්වරයෙක් ඇතුළු 4කට එරෙහිව අධි චෝදනා

Share

නිසි බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියක වන ප්‍රියන්කා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු වශයෙන් පෙනී සිටි චන්ද්‍රරත්න බණ්ඩාර යටවර යන අය නම් කර ඇත.

ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අධිචෝදනා 25 ක් යටතේ නීතිපතිවරයා විසින් වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවට පාදක වී සිටින “සකුරා” නැමැති ඇත් පැටවාගේ තක්සේරු වටිනාකම රුපියල් 6970000/- ක් ලෙස ගණන් බලා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Read more

Local News