පාසල් දරුවන්ට ළඟදීම ඩිජිටල් ගුරුවරයෙක් ලබාදෙනවා

Share

වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බවත් ඒ වෙනුවෙන් පහසුවෙන් සහාය කරගත හැකි, වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ටැබ් පරිගණක ලබා දීම තුළින් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් ව පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ‘ළඟම පාසල හොඳම පාසල’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාසල් දරුවන්ට නව ලොව නව දැනුම සමඟ එක්වීමට ඩිජිටල් තාක්ෂණයේ සහාය ලබා දීම පිණිස නොමිලේ ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධ යෝජනාව 11 වරක් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට සිදු වූ බව ද, කෙසේ හෝ එම විප්ලවීය තීන්දුව මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙන්නට අවසානයේ ජනාධිපතිවරයාගේත්, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබාගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

ඒ අනුව සියලු ම ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ එළඹෙන අගෝස්තු මාසයේ දී ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඉදිරි මාස කිහිපය තුළ සියලු ම උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ද ඉන් අනතුරුව මෙම පහසුකම සමස්ත පාසල් පද්ධතිය වෙත ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පාසල් දරුවන් කියවීමට දිරිගැන්වීම අරමුණු කරගනිමින් ‘කළණ මිතුරු – පොත් සුමිතුරු වැඩසටහන’ අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දි ඇති බව ද මේ යටතේ රුපියල් මිලියන 300කට වඩා පුස්තකාල කියවීම් පොත් දැනටමත් පාසල් වෙත ලබා දී ඇති බව ද, වැඩියෙන් ම කියවීම ප්‍රගුණ කළ පාසල් දරුවන් 1000ක් ගෙන්වා කොළඹ දී ඔවුන් ඇගයීමකට ලක්කරන බව ද, ඔවුන් අතරින් ඉහළම ඇගයීම් ලබන දරුවන් 100 දෙනෙකුට චීන සංචාරයකට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

පොතපත කියවීමට ඇති උනන්දුව දරුවන්ගෙන් ගිලිහී යන බවට වන ප්‍රවණතාව වෙනස් කිරීමට මේ හරහා දිරිගැන්වීමක් ලැබෙනු ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.

Read more

Local News