රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් නොවන බව තලතා කියයි

Share

රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය උත්සහකරන බවත් එහෙත් රාජ්‍ය සේවය යනු රෝස මල් යහනාවක් නොවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ කාර්යාල කාර්ය සහායක සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගත් 119 දෙනෙකු සඳහා නවක පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට අද(02) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

“අද රාජ්‍ය සේවයට ඇතුළු වන ඔබට අවංක රාජ්‍ය සේවයක් සිදු කිරීම සදහා සුභ පතනවා. ඔබ අවංක ශ්‍රේෂ්ඨ රාජ්‍ය සේවයක් සිදු කළ යුතුයි.

මේ තත්වයට එන්න ඔබට ඔබගේ දෙමාපියන් විශාල කැපවීමක් සිදු කර තිබෙනවා. ඔබට මේ තනතුරු ලැබෙන්නේ ඔබේ සුදුසුකම් අනුවයි.

ජනවාරි 08 වැනිදා මේ රටේ වෙනසක් ඇති කළ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතු රජයක් තිබෙන නිසා තමයි ඔබට මේ රැකියා ලැබෙන්නේ.

අපේ පවුලේ කිසිම කෙනෙකුට මේ අමාත්‍යාංශවලින් කිසිම දෙයක් ලබා ගෙන නැහැ. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. රටේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න උපරිම ආකාරයෙන් වගකීම් ඉටු කරලා කටයුතු කරලා තියෙනවා. මඩ ගහන අය මඩ ගහනවා ඒවාට අපි බය නැහැ.

රාජ්‍ය සේවයට ඇතුළු වෙන එක ලේසි නැහැ. උපාධිධාරීන්ට 1019 දෙනෙකුට රත්නපුරේ දී පත්වීම් ලබා දුන්නා. එකේදි අපි පක්ෂයක් පාටක් බැලුවේ නැහැ. ඒක රජයේ යුතුකමක්.

රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකනවා. හැබැයි රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් කියලා නම් හිතන්න එපා. පළමු වැනි කරුණ තමයි ඔබ මතක තියා ගන්න ඔබ රටට ණයයි.

මොකද ඔබ නොමිලේ නිදහස් අධ්‍යාපනය ලබපු උදවිය. ඔබගේ කැපවීම මහන්සිය තුළ ඉදිරියට යන්න පුළුවන්. අද රාජ්‍ය සේවයේ පහළම ස්ථානයක රැකියාවක් ලබන ඔබට ඉහළටම යාමේ හැකියාව තිබෙනවා.

විශ්‍රාම ගියහම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඔබ මිය ගියොත් නෝනාට හරි මහත්තයාට හරි අනත්දරු විශ්‍රාම වැටුපක් ලැබෙනවා. බලන්න ඔබ කොයිතරම් රටට ණය ද. අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති අනුවයි. ඔබ මුල අමතක කරන්න එපා. ඔබ ඇවිල්ලා ඉන්නේ ජනතාවට සේවය කරන්න. අපිට පක්ෂ වැඩක් නැහැ.

පක්ෂය මොකක් වුණත් අපි මනුෂ්‍යයෝ කියලා හිතන්න. අනිත් අය වගේ නෙවෙයි ඔබ මේ ඇතුළු වෙන්නේ අධිකරණයේ සේවයටයි. අධිකරණයේ සේවය ගෞරවයෙන් කරන්න ඕන“ යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News