ජනපතිට ඉන්ටර්පෝල් සම්මානයක්

Share

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා Jürgen Stock ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.

එම ප්‍රශංසාව පළ කරමින් විශේෂ සම්මානයක් ද මහලේකම්වරයා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

දිවයිනට පැමිණ සිටින මහලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය.

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් මාලාවේ පසු විමර්ශන කටයුතු සඳහා සහය ලබදෙන ලෙස ඉන්ටර්පොල් වෙතින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මෙහිදී මහලේකම්වරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදුන් සහය ඇගැයීමට ලක් කළේය.

මෙහිදී මහලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරින් ඉතා ඉහළ වෘත්තිමයභාවයකින් ක්‍රියාකරන බවත් ඉන්ටර්පොල් විශේෂඥයන්ට අවශ්‍ය පුර්ණ සහය ඔවුන්ගෙන් හිමි වූ බවත්ය.

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මුල්‍ය අපරාධකරුවන් පිටුවහල් කිරීම ඇතුළු අදාළ මෙහෙයුම් සඳහා තවදුරටත් සහයවන ලෙස ජනාධිපතිතුමා මෙහි දී ඉන්ටර්පෝල් මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදෙන බවට ද මහලේකම්වරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ලබාගැනීම, නීතිය බලගන්වන නිලධාරින්ට අවශ්‍ය විශේෂ දැනුම ලබාදීම ආදි කටයුතු සඳහා ඉදිරියේ දී ගිවිසුමටකට එළැඹීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ඉන්ටර්පෝල් සහකාර අධ්‍යක්ෂ Karel Pelan යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

Read more

Local News