විමල්ට එරෙහි නඩුව කැඳවන්න දින දෙයි

Share

රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 02 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි ලෙස  නම් කර තිබෙන ලේඛන උත්පාදන කළ පරිගණක පද්ධති සහ ඒ සම්බන්ධ ලේඛන පරික්ෂා කිරීම සඳහා තමන්ට මේ දක්වා ප්‍රවේශයක් ලැබී නොමැති බවයි.

අල්ලස් කොමිසමේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පමණක් පරික්ෂා කිරීම සඳහා අවසර ලබා දිය හැකි බවත් ඊට සම්බන්ධ ලේඛන පරික්ෂා කිරීමට ලබාදිය නොහැකි බවයි.

මෙහිදී විනිසුරුවරයා විත්ති නීතිඥවරුන්ට දැනුම් දී සිටියේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන සහ පරිගණක පද්ධතිය තුළ අන්තර්ගත දත්ත අතර යම් වෙනසක් තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

එම කරුණු සලකා බලා අධිකරණය සුදුසු නියෝගයක් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News