සංවර්ධන සහකාරවරුන් 20,000 ක් බඳවා ගන්නවා – අගමැති

Share

උපාධිධාරීන්ගේ විරැකියා ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් වන අතර ම පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මේ පිළිබඳ ව විවිධ උද්ඝෝෂණ පවත්වන බවත් ඉදිරියේ දී සංවර්ධන සහකාරවරුන් ලෙස 20,000 ක් පමණ බඳවා ගැනීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මේ වන විට අයදුම්පත් කැඳවා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) එරාවුර් නගර සභාවේ අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙලෙස බඳවා ගන්නා පිරිස් විවිධ සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීමට නියමිතව තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය පුහුණු ලබාදීමටත් පියවරගෙන තිබෙන බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා කුඩා ව්‍යවසායන්, ආදායම් මට්ටම්, කාන්තා සුභසාධන කටයුතු ආදීන් පිළිබඳ ව වගකීම් බාර දීමට ද නියමිත බවත් පෙන්වා දුනි. “මේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සෑම ජනවර්ගයක්ම ජීවත් වෙනවා. ඇමැති මණ්ඩලයත් විවිධ ජනවර්ග නියෝජනය කරනවා. ප්‍රශ්න ඇති කිරීමට සුළු අන්තවාදී පිරිස් උත්සාහ කරාවි. නමුත් එය යටපත් කර ඉදිරියට යාමට අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව කියන්නට කැමැතියි. වසරකට පෙර උතුරේ සහ නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරුන් මාව හමුවී උපාධිධාරීන්ගේ විරැකියා ප්‍රශ්න, ගුරු හිඟය පිළිබඳ ව කරුණු පැහැදිලි කළා. ඒ නිසා මුදල් අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් සමග සාකච්ඡා කොට මේ පළාතේ උපාධිධාරී ගුරුවරුන් 1700 ක් බóවා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා” යැයි ද කීය. “සංවර්ධනය කරා රට ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි. දකුණු පළාතේ මෙන්ම මේ ප්‍රදේශයෙත් සංචාරක කර්මාන්තය දියුණු කළ හැකියි. යුද්ධයෙන් මේ ප්‍රදේශ විනාශ වුණා. මුහුදුකරයේ මෙන්ම රට අභ්‍යන්තරයේත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සුදුසු ඉඩම් දැන් හඳුනාගෙන තිබෙනවා. ඊළඟ වසර 10ක් 15ක් ඉලක්ක කරගෙන සංචාරක කර්මාන්තය දියුණු කිරමේ වැඩසටහන් දියත් කරනවා”. “ත්‍රිකුණාමලය දියුණුව මෙන්ම නැගෙනහිර සංචාරක කර්මාන්තය නඟාසිටුවීම තුලින් රැකියා අවස්ථා රැසක් ලබාගැනීමට අවස්ථා උදාවෙනවා. සංචාරක කාර්මාන්ත දියුණුව ඉලක්ක කර අභ්‍යන්තර ගුවන් තොටුපොළ දියුණු කිරීමටද ක්‍රියා කරනවා. දැනටමත් මඩකලපුව ගුවන්තොටුපල දියුණු කර තිබෙනවා. තවත් බොහෝ වැඩකටයුතු සිදු කිරීමට නියමිතයි”. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය විශාල සංවර්ධන කාර්යයන් සඳහා වූ වැඩසටහන් දියත් කර තිබෙන බවත් ඒ හරහා රැකියා සහ ආදායම් මාර්ග වැඩි වන බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා රටේ සියලු ම ප්‍රදේශ ශීඝ්‍ර සංවර්ධනය කරා රැගෙන යාමට ඔබ සැමගේ සහය අවශ්‍ය යැයි ද පැවසීය.

Read more

Local News