අනුර ප්‍රියදර්ශනට නොතීසි

Share

කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනයක් සලකා බැලූ බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාට මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 27 වනදා කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබුණේය.

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත ඇතුළු දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම මනිලාල් වෛද්‍යතිලක සහ ප්‍රදීප් කීර්තිසිංහ යන සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට මේ මස 27 වනදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වමින් නොතීසි නිකුත් කිරීමට නියම කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ සභාපති ධුරය දැරිය හැක්කේ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුද්ගලයෙකුට පමණක් බවයි.

එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පුද්ගලයෙකු නොවන හෙයින් ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

Read more

Local News