මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම ඉලක්කයයි

Share

දේශීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට අවශ්‍ය සියලු සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඉස්සන් වගා කර්මාන්තයේ නිරත ධීවර ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා හලාවත දී ඊයේ (05) දින පැවති වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළේ, මේ යටතේ රටේ මත්ස්‍ය අවශ්‍යතාව මිරිදිය ධීවර කර්මාන්තයෙන් සපුරාලීම අපේක්‍ෂාව බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද ප්‍රකාශ කළේය.

“මම වසර 04 ක් තිස්සේ ධීවර රාජ්‍ය ඇමති. නමුත් මට අවශ්‍ය ලෙස වැඩක් කරන්න ලැබුනේ නැහැ. නමුත් ජලජිවි වගා සංවර්ධන අධිකාරියට සභාපතිට සහ අධ්‍යක්‍ෂක ජෙනරාල්ට ඉතාම පැහැදිලිව උපදෙස් දීලා තියෙන්නේ රටට අවශ්‍ය, ධීවර ජනතාවගේ ඉල්ලීම් වගේම වඩාත් උචිතම දේ කිරීමට කැප වෙන්න කියලා.

මම සෑම මසකට වතාවක් මේ නිලධාරීන් කැදවලා. දැනට කරන වැඩසටහන්, ඉදිරි සැලසුම්, පවතින අභියෝග වගේම වඩාත් ඵලදායි ලෙස ඉදිරි සැලසුම් පිළිබද සාකච්ජා කරනවා. ඒ විතරක් නෙමේ ඒ තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට මම යාන්ත්‍රණයක් සකස් කරලා තියෙන්නේ.

මට අවශ්‍ය මිරිදිය ධීවර කර් මාන්තයෙන් රටට උපරිම දායකත්වයක් ලබා දෙන්න. නව රැකියා නව ආදායම් උපද්ධන ක්ෂේත්‍රයක් බවට මේ කර්මාන්තය පත් කිරීම.

පසුගිය රජය කාලයේ අපේ ධීවර කර්මාන්තයට විවිධ තහංචි පැනවුනා. මේ නිසා ධීවර කර්මාන්තයේ අදුරු යුගයක් පසුගිය රජය සමයේ උදාකරලීමට ඔවුන් කටයුතු කළා.

ඒ අදුරු පාලනය නිසා අපේ ධීවර කර්මාන්තය දිනෙන් දින අගාදය කරා රැගෙන ගියා. මේ නිසා අපේ ධීවර ප්‍රජාව අන්ත අසරණ තත්වයට පත්වෙලා හිටියේ. රටට ලැබෙන විදේශ විනිමය දිනෙන් දින අඩුවෙමින් තිබුනේ, නමුත් අපි බලයට පත්වීමත් සමඟ ඒ ජාත්‍යන්තර තහංචි ඉවත් කරගැනීමට හැකියාව ලැබුණා.

මේ නිසා අපේ ධීවර ජනතාවගේ අස්වැන්නට හොද මිලක් ලැබෙන්න ගත්තා. ඒ වගේම ධීවර ජනතාව එදාට වඩා උනන්දු වුනා වැඩි අස්වැන්නක් නෙලා ගන්න.

මොකද මත්ස්‍ය අස්වැන්න අපනයනයේත් ඉහල ආදායමක් ලබාගන්න අවස්ථාව ලැබීම නිසා. නෙලාගන්නා අස්වැන්නේ වැඩි කොටස අපනයනය කිරීම නිසා අපේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය ලබා දිම ගැටළුවක් වී තිබුණා.

ඒ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොතිබීම නිසා. මේ අභියෝගය සඳහා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය වැඩපිළිවෙල ඉතාම කෙටි කාලයක් තුල හැකියාව ලැබුණා.” යැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News