ඕස්ට්‍රේලියාවට යන්න ගිය ඉරාන පිය-පුතු දෙදෙනා අත්අඩංගුවට

Share

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත්, එතැනින් ඕස්ට්‍රේලියාවටත් පළා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය-පුතු දෙපළක් ඊයේ (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 51ක් වයසැති මෙම ඉරාන ජාතික පියා එරට මල් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු වල නියැලී සිටින අයෙකු වන අතර, ඔහුගේ 15 හැවිරිදි පුතා තවමත් ඉරානයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින්නෙකි.

ඔවුන් දෙදෙනා ඉකුත් 14 දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඊයේ දින රාත්‍රී 7.30 ට ජපානයේ නරීටා බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

තවදුරටත් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී අපහැදිලි ගුවන් ගමන් මාර්ග සහිත ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් ද ආගමන විගමන නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.

මොවුන් දෙදෙනා ජපානයේ සිටින තම මිතුරෙකු මගින් ඕස්ට්‍රේලියාව වෙත යෑම සඳහා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙම කටයුතු සඳහා මොවුන් ඉරාන ජාතික තැරැව්කරුවෙකුට රුපියල් හත් ලක්ෂයක් පමණ ද ගෙවා ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු අනාවරණය කර ගැනීමට සමත් වීය.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සිදු කර තිබේ.

පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා මිනිස් ජාවාරමකට ලක් වූ බවට තහවුරු වීමෙන් පසුව, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Read more

Local News