සෞඛ්‍ය සේවාවේ සිය රාජකාරී නිවැරදිව කළොත් දෙවිවරු යදින්න අවශ්‍ය නෑ

Share

රාජ්‍ය සේවයෙන් සෞඛ්‍ය සේවය සුවිශේෂී වූ සේවාවක් බවත් අනෙකුත් රාජ්‍ය සේවාවන්ට වඩා සෞඛ්‍ය සේවාව වෙනස් බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය සේවයේ මූලික කාර්ය භාරය වන්නේ රටේ අහිංසක මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම බවත් අමාත්‍යවරයා පැවසිය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, පරිපුරක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පත්වීම් 703 ක් සහ ඕවසියර් පත්වීම් 108 ක් ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (17) දින පැවැති උත්සවය අමතමිනි.

මෙම රාජකාරිය නිවැරදිව කළොත් ස්වභාව ධර්මය විසින්ම තම තමන්ගේ ආගම දහම අනුව තමන්ව ආරක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා දෙවිවරු හෝ ශාත්‍රෘවරු ඉදිරියේ යැදුම් යදින්නට අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය සේවයේ නියුතු පිරිස කරන සේවය දෙවිවරුන් දකින බවත් අමාත්‍යවරය ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා අවස්ථා ලබාගැනීමට සහ පුහුණුවීම් සදහා පත්වීම් ලබාගැනීමට තමුන්නාන්සේලා මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. අද දිනය ඔබගේ ජිවිතයේ ස්වර්ණමය අවස්ථාවක්. පුහුණුවෙන් පසු ඔබලාට දිවයිනේ විවිධ ප්‍රදේශවලට අදාලව පත්වීම් ලැබෙනවා. එතකොට මේ රටේ රාජ්‍ය සේවකයින් විදිහට ඔබතුමාලාට කටයුතු කරන්න සිද්ධ වෙනවා.

අපි ගත්ත තීන්දු අනුව බොහෝ අය මේවට විරුද්ධයි. මේවාගෙන් ව්‍යාපාර කරපු අය විරුද්ධයි. දුම්කොළ සමාගම්, පැණිබීම සමාගම්, ඖෂධ සමාගම් විරුද්ධයි. මොකද ඔවුන්ට විශාල වශයෙන් අලාභයක් සිදුවන නිසා. ඔවුන් අපට විරුද්ධව පිරිස් යොදාගෙන විවේචනය කරන්න පටන් ගත්තා.

ඒක ගැටලුවක් නැහැ. මොකද අපි ඒක බලාපොරොත්තු වුනා. එයාලා අපිව විවේචනය නොකළා නම් අපේ වැඩපිළිවෙලේ මොකක් හරි වැරද්දක් තිබෙනවා. අපි නිවැරදි බව දැනගන්නේ ඔවුන් අපිව විවේචනය කිරිම තුලින්.

අද ඖෂධවේදී පුහුණූව සදහා 249 ක් ඇතුලත් වෙනවා. පුරප්පාඩු 383 ක් තියෙනවා. වෘත්තීය චිකිත්සක පුහුණුවට 55ක් අද බදවා ගන්නවා. නමුත් පුරප්පාඩු 83 ක් තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂණවරු 346 පුහුණුවට බදවා ගන්නවා. 382 පුරප්පාඩු තිබෙනවා. අක්ෂි තාක්ෂණවේදීන් 19 ක් පුහුණුවට බඳවා ගන්නවා. පුරප්පාඩු 17 ක් තියෙනවා. කීට විද්‍යා නිලධාරීන් 24 ක් පුහුණුවට බඳවා ගන්නවා. පුරප්පාඩු 101 ක් තියෙනවා. අංගාදේශක සෘජුකරණඥ 10 ක් පුහුණුවට බඳවා ගන්නවා. නමුත් 08 ක් අඩුයි. ඔවසියර් 108 දෙනෙකුට පත්වීම් ලබාදෙනවා. පුරප්පාඩු 159 ක් තිබෙනවා. අද පත්වීම් ලැබීම සමග පුරප්පාඩු ගොඩක් අඩු වෙනවා. අපි රජයක් විදිහට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ඇති කිරීම සදහා ඉදිරියටත් වැඩකටයුතු කරනවා.” යැයි පැවසීය.

Read more

Local News