ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරිගේ නීතිඥවරයා අධිකරණයට දැන්වු දේ

Share

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව ලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී මැරීමට කුමන්ත්‍රණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (19) යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.

එහිදී වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අධිකරණය විසින් සැකකරුවකු ලෙස පිළිගනු ලබන්නේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබේ නම් පමණක් බවයි.

එහෙත් තම සේවාදායකයා සම්බන්ධයෙන් රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන වාර්තාව මඟින් ඔහු විසින් රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥ මහතා කියා සිටියේය.

එමෙන්ම තම සේවාදායකයා චේතනාන්විතවම රාජකාරිය පැහැර හැරීම සිදු කර ඇති බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමින් සඳහන් කර තිබුණත් ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබූ බවද පෙන්වාදුන් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයාට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය තුළ නීතිමය වශයෙන් කිසිදු දෝෂයක් නොමැති බවද සඳහන් කර සිටියේය.

එබැවින් මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත ඇප නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් අවශ්‍ය නම් වගඋත්තරකරු වෙනුවෙන් විකල්පයක් නියම කිරීමට මහාධිකරණයට බලයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේය.

වැඩිදුර විභාගය පැවැත්වෙයි.

Read more

Local News