වෛද්‍ය ෂාෆිගේ පෙත්සම සලකා බැලීම කල්යයි

Share

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කුරුණෑගල රජයේ රෝහලේ විශේෂඥ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ජනවාරි මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (27) බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම නඩුවට අදාළ වාර්තා කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව දාළ වාර්තා ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥවරයාට කාලය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 24 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.

නීති විරෝධී ලෙස සිංහල කාන්තාවන්ට වද සැත්කම් සිදුකළ බවට සහ නීති විරෝධී ලෙස දේපළ රැස්කළ බවට චෝදනා කරමින් රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් කඩවූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි සිහාබ්දීන් මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News