දෙවන එක්දින තරගයේ ජය ඉන්දිය කණ්ඩායමට

Share

ශ්‍රී ලංකා ඉන්දියා දෙවන එක්දින තරගය ලකුණු 141ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනූ තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමෙන් පසුව පිටියට පිවිසි ඉන්දීය පිල ඕවර 50 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 392ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 251ක් පමණි.

දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 15ක්ව තිබියදී උපුල් තරංග ලකුණු 7කටත්, ධනුෂ්ක ගුණතිලක මුලු ලකුණු සංඛ්‍යාව 30ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වූයේ ශ්‍රී ලංකාවට පීඩනයකට ඇද දමමිනි. අනතුරුව ළහිරු තිරිමාන්න සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ ඉනිම ලකුණු 62 දක්වා ඉහළ දැමීමට සමත්වූවත් වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ තිරිමාන්න දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම දැඩි පසුබෑමකට ලක්විය. යළි අසාර්ථක වූ තිරිමාන්න ලබාගත හැකිවූයේ ලකුණු 21ක් පමණි.

අනතුරුව මැතිව්ස් සමග එක්වූ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිම ලකුණු 115 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත් විය. පන්දු 20කදී හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් රැස් කළ දික්වැල්ල දැවී ගියේ යුස්වෙන්ඩර් චාහල්ගේ පන්දුවකටය.

අගනා පිතිහරඹයක නිරත වෙමින් හුදෙකලා සටනක නිරතවූ මැතිව්ස් නොදැවී ලකුණු 111ක් රැස් කිරීමට සමත්වූ අතර අසේල ගුණරත්න සමග එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 45ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එය බිඳ වැටුණේ චාහල්ගේ පන්දුවක් හමුවේ ගුණරත්න ලකුණු 34කට දැවීයාමත් සමගය.

වාර්තා පිට වාර්තා තැබූ රෝහිත් ෂර්මා ඉන්දීය ඉනිම ඉහළට ඔසවා තබමින් නොදැවී රැස් කළ ද්විත්ව ශතකයට වැයවූයේ පන්දු 153ක් පමණි. ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 12ක් ඇතුළත් වී තිබිණි.

දෙපිල අතර තෙවැනි හා අවසන් එක්දින තරගය ලබන 17 දා විශාකාපට්නම් හිදී පැවැත්වේ.

Read more

Local News