Home දේශීය පුවත් ගෝඨාභයග‌ේ පෙත්සම සලකා බැලීම ආරම්භ ‌වෙයි

ගෝඨාභයග‌ේ පෙත්සම සලකා බැලීම ආරම්භ ‌වෙයි

0
ගෝඨාභයග‌ේ පෙත්සම සලකා බැලීම ආරම්භ ‌වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද (04) අභියාචනාධිකරණ හමුවේ තුන්වන දිනටත් සලකා බැලීම ආරම්භ විය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ නඩු විභාගය පැවැත්වෙයි.

අද දින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින් පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කළේය.

ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේදී පුරවැසි පනතට අනුව එම විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු කාර්යභාරයක් නොපැවරෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ.

2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල  සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ කරුණු සනාථ වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

එවැනි තහවුරු වූ තොරතුරක් තිබෙද්දී අදාළ ලේඛනය අසත්‍ය ලේඛනයක් බවට පෙත්සම්කරුවන් විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කරුණු පදනම් කරගෙනම මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බව කියා සිටියේය.

වැඩිදුර කරුණු සලකා බැලීම සිදු වෙයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ  ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි කියා සිටියි.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here